මොරටුව සොයිසා ක්‍රීඩාංගණයේදී පැවැති මොරටුව වේල්ස් කුමරි විද්‍යාලය සහ කොළඹ යසෝදරා විද්‍යාලය අතර එක්දින කාන්තා ක්‍රිකට් තරගය ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කරමින් අවසන් කිරීමට වේල්ස් කුමරි ක්‍රීඩිකාවන් සමත් විය. එහෙත් ක්‍රීඩා පිටියේ ජයග්‍රහණයට වඩා කාගේත් අවධානය යොමුවූයේ තරගයෙන් අනතුරුව හටගත් නොසන්සුන් තත්ත්වය වෙතය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් වේල්ස් කුමරි විද්‍යාලය පන්දුවාර 34යි පන්දු 2ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 131ක් රැස් කළේය. ලකුණු 132ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය යසෝදරා විද්‍යාලයට පන්දුවාර 35යි පන්දු 3කදී ලබාගත හැකිවූයේ ලකුණු 129ක් පමණක් වන අතර, එම ඉනිමද සියලු දෙනා දැවීයාමෙන් නිමාවට පත්විය.
තරගය අවසානයේ සංවිධානය කර තිබූ සම්මාන ප්‍රදානෝත්සවයේදී යසෝදරා විද්‍යාලයේ විදුහල්පතිනිය අදහස් දක්වමින් තරගය අතරතුර තම පාසලට අසාධාරණයක් සිදුවූ බවට චෝදනා කළාය. එමෙන්ම සිය පාසල සහභාගී වන අවසන් "රැජිනියන්ගේ සටන" තරගය මෙය බවද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියාය.
අනතුරුව අනුශූරතාව හිමිවූ යසෝදරා විද්‍යාලීය කණ්ඩායම වෙනුවෙන් එම සම්මානය ලබාගැනීමට නායිකාව වේදිකාවට පැමිණියද, විදුහල්පතිනියගේ නියෝගය මත එය භාර නොගෙන ඇය නැවත හරවා යවා ඇත. මේ හේතුවෙන් තරගයේ අවසන් ජයග්‍රහණයට වඩා වැඩි කතාබහක් සහ අවධානයක් නිර්මාණය වූයේ තරගයෙන් පසුව සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙනි.