two-persons-including-the-son-of-elcardo-owner-remanded-for-defrauding-crores-of-tax-money

සුඛෝපභෝගී මෝටර් රථ සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අමුද්‍රව්‍ය මෙරටට ආනයනය කිරීමේදී රුපියල් කෝටි ගණනක බදු මුදල් වංචා කළ බවට චෝදනා ලැබූ ප්‍රකට ගේට්ටු සමාගමක් වන elcardo හිමිකරුගේ පුත්‍රයා ඇතුළු දෙදෙනෙකු ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂධ මිගාර මහාරච්චි මහතා නියෝග කළේය. ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සැකකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.




අඩු වටිනාකම් සහිත ඉන්වොයිස් ඉදිරිපත් කරමින් රජයට හිමිවිය යුතු බදු මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීහු අධිකරණය හමුවේ ප්‍රකාශ කළහ. විශේෂයෙන්ම මර්සිඩීස් බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් සඳහා ව්‍යාජ ලෙස අඩු වටිනාකමක් දැක්වීම තුළින් රුපියල් 4,145,581.00 ක බදු මුදලක් රජයට අහිමි කර ඇති බව අනාවරණය වී ඇත. මීට අමතරව එම සමාගමේ ලේඛන පරික්ෂා කිරීමේදී ඇමරිකානු ඩොලර් 49,815.75 ක ඉන්වොයිසියක් යටතේ භාණ්ඩ ආනයනය කිරීම, ඇමරිකානු ඩොලර් 19,926.30 ක ණයවර ලිපි නිකුත් කිරීම සහ ඇමරිකානු ඩොලර් 29,889.45 ක භාණ්ඩ ගෙන්වීම සම්බන්ධයෙන්ද තොරතුරු හෙළි වී තිබේ.

සිද්ධියට අදාළ elcardo සමාගමේ අධ්‍යක්ෂවරුන් තිදෙනෙකුට විදේශගත වීම තහනම් කරන ලෙසද රේගු නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නියමිත බැවින්, මොවුන්ට ඇප ලබා දුන්නොත් සාක්ෂි විනාශ වීමේ අවදානමක් පවතින බව පෙන්වා දෙමින් රේගු නිලධාරීහු සැකකරුවන්ට ඇපදීමට දැඩි ලෙස විරුද්ධත්වය පළ කළහ.




සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ විමර්ශන නිලධාරීන් විසින් නිසි සාක්ෂි සංක්ෂිප්ත වාර්තාවක් ඉදිරිපත් කර නොමැති බවයි. රේගු ආඥා පනතේ 127 ඒ වගන්තියට අනුව සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේද නැද්ද යන්න තීරණය කිරීමේ සම්පූර්ණ බලය මහෙස්ත්‍රාත්වරයා සතු වන අතර විමර්ශකයන් පවසන පරිදි එය අනිවාර්ය නොවන බවද ඒ මහතා සඳහන් කළේය. දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, සැකකරුවන් ලබන 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, එදිනට විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙසත් නියෝග කළේය.