
මුදල්, ක්රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ පැරණි සහ නව ගොඩනැගිලිවල විදුලි බිල්පත් ගෙවීම නියමිත පරිදි සිදු නොවීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් විසිතුන් කෝටි හැට ලක්ෂයකට අධික මුදලක් දඩ වශයෙන් ගෙවීමට සිදුව ඇති බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
විගණන වාර්තාවට අනුව, මෙලෙස බිල්පත් ගෙවීම ප්රමාද වීම නිසා 2024 වර්ෂය සඳහා රුපියල් 13,47,948 ක මුදලක් සහ 2025 වර්ෂය සඳහා රුපියල් 10,12,479 ක මුදලක් දඩ වශයෙන් ගෙවා ඇත. විගණන නිරීක්ෂණයන්හිදී මෙම ගෙවීම් ඉදිරිපත් කර ඇත්තේ හඳුනාගත් පාඩු ශීර්ෂය යටතේ ය.
එමෙන්ම, මුදල් අමාත්යාංශයේ අනුමත කාර්ය මණ්ඩල ව්යුහය තුළ ද සැලකිය යුතු පුරප්පාඩු සංඛ්යාවක් පවතින බව විගණන කාර්යාලය පෙන්වා දෙයි. එහි අනුමත තනතුරු 352 න් 40 ක්ම පුරප්පාඩුව පවතින අතර, ඊට නිලධාරී මට්ටමේ තනතුරු නවයක් ද ඇතුළත් වේ.
අමාත්යාංශයේ සමස්ත පුනරාවර්තන වියදම්වලින් සියයට අනූනවයක් හෙවත් රුපියල් කෝටි 23,799 ක මුදලක් වැය කර ඇත්තේ 'අස්වැසුම' සුබසාධන වැඩසටහනේ මූල්යාධාර ගෙවීම් සඳහා ය. මෙවැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් වෙනුවෙන් විශාල ප්රතිපාදනයක් වෙන් කළ ද, අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය ක්රමයෙන් ඉහළ නැංවීම වෙනුවෙන් ක්රියාත්මක වන ආදායම් මාර්ගවල සාර්ථකත්වය පිළිබඳව අදාළ අමාත්යාංශ සමඟ එක්ව කිසිදු ඇගයීමක් සිදු කර නොමැති බව ද මුදල්, ක්රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්යාංශයේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් විගණන වාර්තාවේ දැක්වේ.
