two-children-were-killed-when-a-dam-collapsed-in-kalpitiya

කල්පිටිය කුරක්කන්හේන ධීවර තොටුපළෙන් කල්පිටි කළපුව දෙසට ගමන් කරමින් තිබූ කුඩා වල්ලමක් පෙරළී යාමෙන් සිදුවූ අවාසනාවන්ත අනතුරකින් එකම පවුලේ කුඩා දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඉකුත් 11 වනදා පස්වරුවේ සිදුවූ මෙම ශෝකජනක සිද්ධියෙන් අහිමි වී ඇත්තේ වයස අවුරුදු හතක් වූ පිරිමි දරුවෙකු සහ ඔහුගේ 13 හැවිරිදි නැන්දණියයි.




මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කල්පිටිය කුරක්කන්හේන, තැඹිලිවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි අමෝද්‍ය සත්සර නමැති 7 හැවිරිදි දරුවා සහ අඹල්ගා දේවින්දි නැමැති 13 හැවිරිදි දැරියයි. මියගිය අමෝද්‍ය පුතු කුරක්කන්හේන ප්‍රාථමික විද්‍යාලයේ තුන්වන වසරේ ඉගෙනුම ලැබූ අතර, අඹල්ගා දැරිය කුරුඤ්ඤංපිටිය මහා විද්‍යාලයේ අටවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටියාය. අනතුර සිදුවන අවස්ථාවේ වල්ලමේ ගමන් කළ අමෝද්‍යගේ මව වන මාරසිංහ අප්පුහාමිලාගේ සඳමාලි අප්සරා සහ පියා වන මයිකල් සුජිත් අසංක නමැති අඹුසැමි යුවළ දිවි ගලවා ගැනීමට සමත්ව ඇත.

මියගිය අඹල්ගා දැරිය, දිවි ගලවාගත් සුජිත් නැමැත්තාගේ බාල නැගණිය වන අතර ඇගේ මව විදේශගතව සිටීම හේතුවෙන් ඇගේ භාරකාරත්වය පැවරී තිබුණේ ද සුජිත් වෙතය. පාසල් නිවාඩු සමය බැවින් විනෝදය තකා මෙම දරුවන් දෙදෙනා ද දෙමාපියන් සමඟ එක්වී ඇත්තේ ගොඩාපිටිය දූපත වෙත ධීවර දැල් කට්ටලයක් රැගෙන යාමේ ගමනටයි. ධීවර රැකියාව සඳහා පිටත්ව ගිය මෙම පිරිස ආපසු පැමිණෙමින් සිටියදී හදිසියේම කළපුවේ ඇතිවූ දැඩි රළ පහරකට හසුවී වල්ලම පෙරළී ගොස් තිබේ.




අනතුරට ලක්ව පිරිස කළපුවේ පාවෙමින් සිටියදී, ඒ ආසන්නයේ ධීවර කටයුතුවල නිරතව සිටි කුරක්කන්හේන තැඹිලිවත්ත ප්‍රදේශයේ ආසිරි ඇතුළු ධීවරයින් පිරිසක් විසින් ඔවුන් දැක වහාම ක්‍රියාත්මක වී තිබේ. අනතුරට පත් සිව්දෙනාම මුදාගෙන කල්පිටිය රෝහල් ජැටිය වෙත රැගෙන ඒමට ධීවරයින් කටයුතු කළ ද, ඒ වන විටත් කුඩා දරුවන් දෙදෙනා මියගොස් සිටි බව රෝහල් බලධාරීන් තහවුරු කර ඇත. අනතුරෙන් තුවාල ලැබූ වැඩිහිටි අඹුසැමි යුවළ කල්පිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහල වෙත මාරු කර යවා තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අසරණ වූ මව සඳමාලි අප්සරා මහත්මිය ප්‍රකාශ කළේ, තමන් නිවසින් පිටත්ව යන අවස්ථාවේ කළපුව සාමකාමීව පැවතුණ ද ආපසු එන අතරතුර හදිසියේම කළපුව රළු වී විශාල රළ පහරක් පැමිණීමෙන් වල්ලම පෙරළී ගිය බවයි. කිසිදු වරදක් නොකළ තමන්ට දරාගත නොහැකි මෙවන් මහා ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවීම පිළිබඳව ඇය හඬා වැලපෙමින් සිය අතිශය ශෝකය පළ කළාය.



දියේ ගිලීමෙන් මියගිය දරුවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් පැවැත්වීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් කල්පිටිය පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු පවත්වාගෙන යනු ලබයි.

two-children-were-killed-when-a-dam-collapsed-in-kalpitiya