atapirikara-127-shops-were-raided-and-many-irregularities-were-found

දිවයින පුරා සිදුකරන ලද විශේෂ වැටලීම්වලදී ප්‍රමිතියෙන් තොර අටපිරිකර සහ පිරිකර භාණ්ඩ අලෙවි කළ වෙළෙඳසැල් 127ක් වටලා නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කර තිබේ. පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සහ අදාළ නීතිමය රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක වන්නේදැයි පරීක්ෂා කිරීම සඳහා මෙම විශේෂ මෙහෙයුම සංවිධානය කර තිබූ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා සඳහන් කළේය.




පසුගිය අගෝස්තු 10 වැනිදා ක්‍රියාත්මක කරන ලද විශේෂ වැඩසටහන යටතේ පමණක් දිවයින පුරා සාර්ථක වැටලීම් 92ක් සිදුකිරීමට පරීක්ෂකවරුන් සමත්ව ඇත. මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා කාලය තුළ සිදුකරන ලද වැටලීම් 35ද ඇතුළත්ව, 2026 වසර තුළ වාර්තා වූ සමස්ත අටපිරිකර වැටලීම් සංඛ්‍යාව 127ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම පරීක්ෂණවලදී අටපිරිකර තුළ පැවති බරපතළ අක්‍රමිකතා රැසක් අනාවරණය වී ඇත. එහිදී දෙපට සිවුර වෙනුවට තනිපට සිවුරු ඇතුළත් කිරීම, අටපිරිකරට අයත් කොටස් අංග සම්පූර්ණ නොවීම, ශීලයට අදාළව තිබිය යුතු භාණ්ඩ වෙනස් කිරීම, ඇලුමිනියම්වලින් නිපදවන ලද පාත්‍ර, තීන්ත හෝ ආලේපන ගැලවී ගිය පාත්‍ර සහ මළ බැඳුණු දැලි පිහි අඩංගු කර තිබීම වැනි කරුණු හඳුනාගෙන තිබේ. මෙලෙස නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ අටපිරිකර, සිවුරු, අඳනකඩ, බඳපටි, පාත්‍ර ඇතුළු පිරිකර භාණ්ඩ 436ක් අධිකාරියේ භාරයට ගැනීමට නිලධාරීන් පියවර ගෙන ඇත.




පිටත ඇසුරුම දෙස බැලීමෙන් පමණක් මෙවැනි අක්‍රමිකතා පහසුවෙන් හඳුනාගැනීමට පාරිභෝගිකයන්ට නොහැකි වන බැවින්, ආගමික කටයුතු සඳහා අටපිරිකර මිලදී ගැනීමේදී ඒ තුළ අඩංගු භාණ්ඩ පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් වන ලෙස සභාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අදාළ නීති උල්ලංඝනය කළ වෙළෙඳ ආයතනවලට එරෙහිව අදාළ මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගනිමින් සිටී. ඉදිරියටත් මෙවැනි අහඹු වෙළෙඳපොළ පරීක්ෂණ සහ විශේෂ වැටලීම් දිවයින පුරා අඛණ්ඩව සිදුකිරීමට සැලසුම් කර ඇති අතර, මෙවැනි අක්‍රමිකතාවන් පිළිබඳ තොරතුරු යම් පාරිභෝගිකයෙකු සතුවන්නේ නම් කාර්යාලීය වේලාවන් තුළදී 1977 කෙටි ඇමතුම් අංකය ඇමතීමෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දිය හැක.