political-meetings-were-held-with-the-money-of-the-government-under-the-name-of-sugeeshwara-special-projects

විශේෂ ව්‍යාපෘති සිදුකරන බව පවසමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ ලබාගත් රාජ්‍ය මුදල් යොදවා කිසිදු ව්‍යාපෘතියක් ඉටු නොකර දේශපාලන රැස්වීම් පවත්වා ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස මෙන්ම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර නැමැති සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා හමුවේ මේ බව දැනුම් දෙන ලදී.




ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, රක්ෂිත බන්ධනාගාර භාරයේ පසුවූ සැකකාර සුගීෂ්වර බණ්ඩාර නමැත්තා ලබන 25 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.

2022 ජූලි 14 වැනිදා සිට 2024 දෙසැම්බර් 21 දක්වා වූ කාලසීමාව තුළ ජනාධිපති වැය ශීර්ෂය යටතේ වෙන් කළ මුදල් මගින් වැටුප් හා දීමනා ලබාගනිමින් මුදල් අවභාවිත කළ බවට මෙම පැමිණිල්ල ගොනු කර ඇත. බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවල වැඩිදුර ප්‍රගති වාර්තාවක් ද මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් ඉදිරිපත් කරන ලදී.




අදාළ මුදල් යොදවා පවත්වා ඇති දේශපාලන රැස්වීම් පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද අධිකරණය හමුවේ තබා ඇති අතර, විශේෂ ව්‍යාපෘති අංශයේ සේවය කළ බව කියන පුද්ගලයන්ගෙන් ඉදිරියේදී ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව පොලිසිය ප්‍රකාශ කළේය. සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය ලබන 25 වැනිදා නැවත අධිකරණයට දැනුම් දෙන ලෙස මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.