දේශපාලනමය ක්‍රියාකාරකමක් ඔස්සේ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් වෛද්‍ය කාණ්ඩ අතර අසමගියක් නිර්මාණය කරමින්, සමස්ත වෛද්‍ය සේවාව මෙන්ම නිදහස් සෞඛ්‍ය පද්ධතිය ද දැඩි අර්බුදයකට තල්ලු කිරීමේ සුදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) චෝදනා කරයි.
රට තුළ පැවැති ආර්ථික, සමාජීය හා දේශපාලනමය නොසන්සුන්තාව හමුවේ විශේෂඥයන් ඇතුළු වෛද්‍යවරුන් දේශය තුළ රඳවා තබා ගැනීම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රධාන අභියෝගයක් බවට පත් විය. මෙම ගැටලුවට තිරසාර විසඳුම් සෙවීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය වෘත්තීය සමිති නියෝජිතයන්ගෙන් සමන්විත විශේෂ කමිටුවක් පත් කෙරිණි. එහිදී සියලුම වෛද්‍ය කාණ්ඩ නියෝජනය වන පරිදි 'ශ්‍රී ලංකා වෛද්‍ය සේවය' නමින් නව සේවා කාණ්ඩයක් හා වැටුප් ව්‍යුහයක් ස්ථාපිත කිරීමට පාර්ශ්වකරුවන් අතර එකඟතාව හිමි විය.
එම එකඟතාවට අනුකූලව 2026 අයවැය තෙවනවර කියවීමේදී ද විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියලුම වෛද්‍යවරුන් වෙනුවෙන් විශේෂිත සේවා කාණ්ඩයක් පිහිටුවන බවට රජය සහතික වී තිබිණි. කෙසේ වෙතත්, මුල් එකඟතාවලට පටහැනිව යමින් විශේෂඥ වෛද්‍යවරුන් සඳහා පමණක් වෙන් වූ වෙනම සේවා කාණ්ඩයක් නිර්මාණය කිරීමට මේ වන විට යෝජනා වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එක් කාණ්ඩයකට පමණක් සීමා වූ මෙවැනි ව්‍යවස්ථාවක් බිහිකිරීමෙන් වෛද්‍යවරුන් අතර දැඩි බෙදීමක් හටගන්නා බවත්, එමගින් නිදහස් සෞඛ්‍ය සේවාවට මෙන්ම රෝගී සත්කාරක ක්‍රියාවලියට ද බරපතළ හානියක් සිදු වන බවත් එම සංගමය පෙන්වා දෙයි. එබැවින් මෙම යෝජනාවට කිසිසේත්ම එකඟ විය නොහැකි බව ඔවුන් අවධාරණය කරයි.
මෙම තත්ත්වය සම්බන්ධයෙන් අදාළ කමිටුව වෙත වාචිකව හා ලිඛිතව තම අදහස් ඉදිරිපත් කළ අතර, කමිටු වාර්තාවේ පිටපතක් ලබාදෙන ලෙස බලධාරීන්ගෙන් කිහිප වරක්ම ඉල්ලා සිටිය ද මෙතෙක් එය ඉටු වී නොමැත. මේ හේතුවෙන් ඉදිරි වෘත්තීය ක්‍රියාමාර්ග පිළිබඳ තීරණ ගැනීම සඳහා ඉකුත් 28 වැනිදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ පළාත් සහ දිස්ත්‍රික් සම්බන්ධීකාරකවරුන්ගේ හදිසි හමුවක් පවත්වා ඇත.
එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අනුකමිටුවේ හදිසි රැස්වීමක් හෙට (31) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. වෛද්‍යවරුන් අතර කිසිදු බෙදීමකට ඉඩ නොතබමින්, සියලු දෙනාගේ අයිතිවාසිකම් හා වරප්‍රසාද සුරකිමින් එකමුතුව සේවය කළ හැකි සෞඛ්‍ය සේවාවක් උදෙසා ගනු ලබන තීරණාත්මක පියවර පිළිබඳව මෙම රැස්වීමේදී අවසාන තීරණ ගැනීමට නියමිතය.
