an-explanation-of-the-hours-when-loudspeakers-are-prohibited-at-night

ශබ්ද විකාශන යන්ත්‍ර සහ ඇම්ප්ලිෆයර් භාවිත කිරීමේදී අවට වැසියන්ට පීඩාවක් නොවන ආකාරයෙන් නීත්‍යානුකූල කොන්දේසිවලට යටත්ව කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.




අධික ශබ්දය හේතුවෙන් සිදුවන ශබ්ද දූෂණය ළදරුවන්, පාසල් සිසුන්, වැඩිහිටියන් මෙන්ම රෝගීන්ගේද ශාරීරික හා මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපාන බව පෙන්වා දෙන පොලිසිය, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග සහ දණ්ඩ නීති සංග්‍රහයේ 261 වන වගන්තිය ප්‍රකාරව අන් අයට අපහසුතාවක් වන සේ ශබ්ද උපකරණ ක්‍රියාත්මක කිරීම ‘මහජන පීඩාවක්’ ලෙස සැලකෙන බව සඳහන් කරයි. ඒ අනුව මෙලෙස නීති විරෝධී ලෙස හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන්ට බලතල හිමිව ඇත.

සාමාන්‍ය රීතියක් ලෙස රාත්‍රී 10.00 සිට පසුදින අලුයම 06.00 දක්වා කාලය තුළ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වන අතර, ආගමික හෝ විශේෂ උත්සව සඳහා පමණක් පූර්ව නීත්‍යානුකූල අවසර ලබාගැනීමට හැකියාව පවතී. එවැනි විශේෂ පොලිස් අවසරපත්‍රයක් සහිත අවස්ථාවකදී වුවද, සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා දිනවල රාත්‍රී 10.00 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 01.00 දක්වාත්, ඉරිදා දිනවල අලුයම 12.30 දක්වාත් පමණක් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීමට අවසර හිමිවේ.




කෙසේ වෙතත්, අවසරපත්‍රයක් නිකුත් කර තිබුණද පිටවන ශබ්දය අදාළ පරිශ්‍ර සීමාව තුළට පමණක් සීමා විය යුතු බවත්, අවට පදිංචිකරුවන්ට කිසිදු බාධාවක් නොවිය යුතු බවත් පොලිසිය අවධාරණය කරයි. අදාළ කොන්දේසි උල්ලංඝනය කරමින් හෝ මහජනතාවට හිරිහැර වන අන්දමින් අධික ශබ්දයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නම්, එම උපකරණ පොලිස් භාරයට ගෙන අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරනු ඇත.

මෙවැනි අයුරින් මහජන පීඩාවක් සිදුවන පරිදි සිදුකරන නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයන් පිළිබඳව වහාම ළඟම පිහිටි පොලිස් ස්ථානය වෙත හෝ 118 සහ 119 යන හදිසි ඇමතුම් අංක ඔස්සේ තොරතුරු ලබාදෙන ලෙස ශ්‍රී ලංකා පොලිසිය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටී.