අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු භාරයෙන් පලා යෑමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවත්වාගෙන යා නොහැකි බවට කොළඹ මහාධිකරණය දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා තීරණය කර ඇත. මේ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා විසින් කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී.
රාගල මහතා හමුවේ දැනුම් දෙන ලදී.මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉන්ද්‍රජීත් කුරේ, නීතිඥවරුන් වන ජාලිය සමරසිංහ, උදුල් පේමරත්න සහ හරිත් හෙට්ටිආරච්චි යන මහත්වරුන් මූලික විරෝධතා මතු කරමින් තම සේවාදායකයන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුව ගොනු කිරීමට විරුද්ධත්වය පළ කළහ. එම විරෝධතා පිළිගත් මහාධිකරණ විනිසුරුවරයා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුව පවත්වාගෙන යා නොහැකි බවට තීන්දු කළ මුත්, දණ්ඩ නීති සංග්‍රහය යටතේ නඩුව පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බව පෙන්වා දුන්නේය.
අදාළ මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් යොමු කිරීමට නීතිපතිවරයාට වැඩකරන දින 14ක කාලයක් හිමිවන අතර, එම කාලසීමාව තුළ විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීම සුදුසු නොවන බව රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ පැවසීය. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම් පිළිබඳ නියෝගය කල් තබමින් නඩුව නැවත අගෝස්තු 20 වැනිදා කැඳවීමට නියෝග කළේය.
එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වූ චෝදනා ඉවත් කර ඇති බැවින්, දැනට තංගල්ල පැරණි බන්ධනාගාරයේ රැඳවුම් නියෝග මත පසුවන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තා ආරක්ෂාව සහිත සුදුසු වෙනත් බන්ධනාගාරයක් වෙත මාරු කිරීමට පියවර ගන්නා ලෙස මහාධිකරණ විනිසුරුවරයා විසින් බන්ධනාගාර අධිකාරීවරයාට නියම කරන ලදී.
2023 සැප්තැම්බර් 10 වනදා හෝ ඊට ආසන්න දිනයකදී කොළඹ රහස් පොලිස් භාරයේ රඳවා සිටියදී, ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියාට පහර දී තුවාල සිදුකර පලා යෑමට තැත් කිරීම ඇතුළු චෝදනා නඳුන් චින්තක ඇතුළු පිරිසට එරෙහිව එල්ල වී තිබේ. මෙම නඩුවේ අනෙකුත් විත්තිකරුවන් ලෙස පොලිස් කොස්තාපල් රවිඳු සංදීප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර සහ සංජය අබේසිංහ යන අය නම් කර ඇත.