sulamula-minister-reveals-the-secrets-of-mahara-conflict

මහර බන්ධනාගාරය තුළ මෑතකදී ඇති වූ උණුසුම් තත්ත්වය හුදෙක් රැඳවියන් අතර ඇති වූ ගැටුමක් නොවන බවත්, එහි පාලන අධිකාරිය අක්‍රිය කිරීමේ අරමුණින් සංවිධානාත්මකව සිදු කරන ලද කඩාකප්පල්කාරී සහ ගිනි තැබීමේ ක්‍රියාවක් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අද (04) පාර්ලිමේන්තුවේදී පැවසීය. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ රැඳවියන් විසින් බන්ධනාගාරයේ මුළුතැන්ගෙය, ආපනශාලාව, රෝහල් ඒකකය සහ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය ඇතුළු ප්‍රධාන කාර්යාල රැසකට ගිනි තබා අලාභහානි සිදු කර ඇති බවයි.




පෙර නොවූ විරූ අයුරින් සිදු වූ මෙම සිදුවීම පිටුපස නිශ්චිත අරමුණක් පැවති බවත්, බන්ධනාගාරයේ පරිපාලනය අඩපණ කිරීමේ පැහැදිලි උත්සාහයක් මෙහිදී පෙන්නුම් කරන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. ඉදිරිපත් කරන ලද තොරතුරු වලට අනුව, අගෝස්තු 01 වනදා රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාරයේ වහලය මත නැගී විරෝධතාවයක නිරත වීමත් සමඟ මෙම නොසන්සුන්තාව ආරම්භ වී තිබේ. විනාඩි 15ක පමණ කාලයක් පුරා පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් අනතුරුව, තවත් රැඳවියන් 1,000කට ආසන්න පිරිසක් ඔවුන් හා එකතු වීම නිසා තත්ත්වය පාලනය කරගත නොහැකි මට්ටමකට පත්ව ඇත.

ප්‍රධාන පිවිසුම් දොරටුව දෙසට රැඳවියන් ගල් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ තත්ත්වය පාලනය කිරීම සඳහා බලධාරීන්ට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කිරීමට සිදු විය. ඒ වන විටත් බන්ධනාගාරය තුළ වූ ඒකක කිහිපයක් විනාශ වී තිබූ අතර, අගෝස්තු 02 වන විට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව තත්ත්වය පාලනය කර රැඳවියන් නැවත සෙලයට යොමු කිරීමට සමත් විය. මෙම හිංසාකාරී සිදුවීම අතරතුර එක් රැඳවියෙකු මියගොස් තවත් අටදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැත.




මීට පෙර මීගමුව බන්ධනාගාරයේ සිදු වූ කලබලකාරී තත්ත්වය රැඳවියන් අතර ඇති වූවක් වුවද, මහර සිදුවීම සෘජුවම පරිපාලනයට එරෙහිව සිදු වූවක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මෙතරම් විශාල රැඳවියන් පිරිසක් එකවර සංවිධානය වූයේ කෙසේදැයි ප්‍රශ්න කරමින් ඊට බාහිර බලපෑමක් පැවතිය හැකි බවට සැක පළ කළේය. මහර බන්ධනාගාරයේ කටයුතු අකර්මන්‍ය කිරීමේ අරමුණින් ක්‍රියා කළ කුමන්ත්‍රණකරුවන් සිටී නම් ඔවුන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බවත්, මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති අතර මෙවැනි සිදුවීම් වෙනත් බන්ධනාගාර වෙත පැතිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.