කොළඹ 07, බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ සේවකයකුට පහරදී මරා දැමීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් 17 හැවිරිදි බාලවයස්කාර ක්‍රිකට් ක්‍රීඩකයා එළඹෙන 24 වැනිදා දක්වා තවදුරටත් පරිවාස භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
සීදුව, ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම සැකකාර සිසුවා කුරුඳුවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස පරිවාස භාරයට පත් කර ඇත.පසුගිය අගෝස්තු 08 වැනිදා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා පරිශ්‍රයේදී ක්‍රිකට් පුහුණුවීම්වල නිරත වූ මෙම සැකකාර සිසුවා ඇතුළු පිරිස ජලය පානය සඳහා ජල කරාමය අසලට ගිය අවස්ථාවේදී එහි ජලය නොමැති වීම හේතුවෙන් ක්‍රීඩා සමාජයේ සේවකයා සමග බහින්බස් වීමක් හටගෙන තිබේ. එහිදී 62 හැවිරිදි සේවකයා එක් ක්‍රීඩකයකුට පහරදීමට උත්සාහ කර ඇති අතර, දිගින් දිගටම ඇති වූ ආරවුල අතරතුර මෙම 17 හැවිරිදි සිසුවාට ද පහරදීමට තැත් කිරීමේදී එම සිසුවා විසින් සේවකයාට පහර දී ඇත. මෙලෙස පහරදීමෙන් තුවාල ලැබූ මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ සුමිත් ප්‍රනාන්දු නමැති අදාළ සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුගිය 10 වැනිදා මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා හෘද රෝගියකු බවට වන වෛද්‍ය වාර්තා අධිකරණය හමුවට ඉදිරිපත් වී ඇති අතර, මෙම මරණය පහරදීම නිසා සිදුවූවක්ද නැතහොත් පවතින රෝගී තත්ත්වය මත සිදුවූවක්ද යන්න තහවුරු කරගැනීම සඳහා කොළඹ ජාතික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත. එහිදී අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා විසින් ඒ පිළිබඳව විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, සිරුරු කොටස් වැඩිදුර පරික්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
මේ අතර, සැකකාර 17 හැවිරිදි සිසුවා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සේනක පෙරේරා මහතා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මානසික ආබාධ සහිත අයකු බවයි. මාකොළ රැඳවුම් නිවාසයේ රඳවා සිටියදී එහි සිටි වෙනත් මානසික ආබාධ සහිත දරුවකු එල්ල කළ පහරදීමකට ලක්වීම හේතුවෙන් සැකකාර සිසුවා මේ වන විට රාගම රෝහලේ ප්‍රතිකාර ලබන බව ද නීතිඥවරයා අනාවරණය කළේය.
එහිදී අදහස් දැක්වූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, පරිවාස භාරයේ පවතින රැඳවුම් මධ්‍යස්ථාන තුළ සාමාන්‍ය දරුවන් සහ මානසික ආබාධ සහිත දරුවන් වෙන්කර තැබිය යුතු බව අවධාරණය කළේය. එලෙස කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පහරදීම සිදුව ඇති බව පෙනී යන බැවින්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පරිවාස නිලධාරීන්ට නියෝග කළේය.