ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අනුමත කාර්ය මණ්ඩල සීමාවන් උල්ලංඝනය කරමින් අනවශ්‍ය ලෙස සේවකයන් හය දෙනෙකු නීතිවිරෝධී ලෙස බඳවා ගැනීමේ චෝදනාව මත හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිදුවීමට අදාළ විමර්ශන සඳහා ප්‍රකාශයක් ලබාදීමට හිටපු අමාත්‍යවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි අතර, නිලධාරීන් විසින් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
අක්‍රමවත් ලෙස සිදු කරන ලද මෙම පත්වීම් හේතුවෙන් ජාතික රූපවාහිනී සංස්ථාවට සහ රජයට රුපියල් ලක්ෂ 143ක මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවට විමර්ශන නිලධාරීන් විසින් කරුණු අනාවරණය කරගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු සක්‍රීයව සිදු කරනු ලබයි.