minor-flooding-in-the-kelani-river

දිවයිනට බලපා ඇති සක්‍රීය නිරිතදිග මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට තද වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර, මේ නිසා ඉදිරි පැය 48ක කාලය තුළ ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර තත්ත්වයක් හටගැනීමේ අවදානමක් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම අවදානම් තත්ත්වය විශේෂයෙන්ම දෙහිඕවිට, රුවන්වැල්ල සහ සීතාවක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කැලණි ගඟ නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඍජුවම බලපානු ඇත.




වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා හා ආපදා කළමනාකරණ අංශය මගින් අද පෙ.ව. 7.30ට නිකුත් කරන ලද මෙම ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය අනිද්දා පෙ.ව. 7.00 දක්වා බලපැවැත්වේ. අධික වර්ෂාව හමුවේ ගඟේ ජල මට්ටම ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති බැවින් එම ප්‍රදේශවල පදිංචි ජනතාව, මාර්ගවල ගමන් කරන වාහන පදවන්නන් මෙන්ම ගඟ පරිහරණය කරන පිරිස් ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් හා සුපරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බව බලධාරීන් අවධාරණය කරයි.

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇදහැලීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. එමෙන්ම දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක රැසකට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං හමන අතර මාතලේ, අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ද, සෙසු ප්‍රදේශවලට ප්‍රධාන වශයෙන් වියළි කාලගුණයක් ද අපේක්ෂිතය.




අයහපත් කාලගුණයත් සමඟ සුළඟේ වේගය වැඩිවීම හේතුවෙන් යාපනය සිට මන්නාරම, පුත්තලම, හලාවත, මීගමුව, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළාසන්න මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවයි. මෙවැනි තත්ත්වයක් හමුවේ කුඩා සහ එක්දින ධීවර යාත්‍රාවලට මුහුදු යාම තාවකාලිකව තහනම් කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර, දැනටමත් මුහුදු ගොස් සිටින යාත්‍රා වෙතොත් හැකි ඉක්මනින් ආරක්ෂිතව ගොඩබිම වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබේ.