2025 අ.පො.ස. උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව, 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු (අවම Z-අගයන්) විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත.
කොළඹ 07, වෝඩ් පෙදෙස, අංක 20 ලිපිනයේ පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුතුව 2026 ජූලි 31 වන දින ලිපි අංක UGC/AD/06/(2025/2026) යටතේ නිකුත් කළ නිල මාධ්‍ය නිවේදනයක් මගින් මේ පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කර තිබේ.මෙවර උසස් පෙළ විභාගය සඳහා සමස්ත අපේක්ෂකයින් 281,810 දෙනෙකු පෙනී සිට ඇති අතර, එම පිරිස අතුරින් සිසුන් 176,570 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා මූලික සුදුසුකම් සපුරාලීමට සමත් වී ඇත. එමෙන්ම, විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් යොමු කර ඇති සිසුන් සංඛ්‍යාව 92,051 ක් වන අතර, ඉන් සිසුන් 41,746 දෙනෙකු සාමාන්‍ය ප්‍රවේශය යටතේ විශ්වවිද්‍යාල පාඨමාලා සඳහා තෝරාගෙන තිබේ.
විෂය ධාරාවන් අනුව සැලකීමේදී වැඩිම අපේක්ෂකයින් සංඛ්‍යාවක් පෙනී සිට ඇත්තේ කලා විෂය ධාරාවෙන් වන අතර, එම සංඛ්‍යාව 96,429 කි. ඉන් සිසුන් 58,272 ක් මූලික සුදුසුකම් ලැබූ අතර, 27,384 දෙනෙකු අයදුම් කර ඉන් සිසුන් 11,417 දෙනෙකු තෝරාගෙන ඇත. වාණිජ විෂය ධාරාවෙන් අපේක්ෂකයින් 60,542 ක් පෙනී සිටි අතර, 39,611 දෙනෙකු සුදුසුකම් ලබා අයදුම් කළ 14,842 ක් අතරින් සිසුන් 8,061 දෙනෙකු තෝරාගෙන තිබේ. ජෛවීය විද්‍යා විෂය ධාරාව යටතේ සිසුන් 56,955 දෙනෙකු විභාගයට පෙනී සිටි අතර, 32,938 දෙනෙකු සුදුසුකම් ලබා අයදුම් කළ 21,756 දෙනා අතුරින් 9,915 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා ඇත.
භෞතික විද්‍යා විෂය ධාරාවෙන් අපේක්ෂකයින් 37,665 දෙනෙකු පෙනී සිටි අතර, මූලික සුදුසුකම් ලැබූ 23,020 දෙනා අතුරින් 16,098 දෙනෙකු අයදුම් කර සිසුන් 7,268 දෙනෙකු තෝරාගෙන තිබේ. ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාවෙන් සිසුන් 22,036 ක් පෙනී සිට 12,486 ක් සුදුසුකම් ලබා ඇති අතර, අයදුම් කළ 5,792 අතුරින් 2,483 දෙනෙකු තේරී පත්ව ඇත. ජෛවපද්ධති තාක්ෂණවේදයෙන් අපේක්ෂකයින් 9,144 දෙනෙකු පෙනී සිටි අතර 6,042 ක් සුදුසුකම් ලබා අයදුම් කළ 3,486 දෙනාගෙන් සිසුන් 1,479 දෙනෙකු තෝරාගෙන තිබේ. මීට අමතරව, සඳහන් කළ ප්‍රධාන විෂය ධාරාවන්ට අයත් නොවන වෙනත් විෂය ධාරාවන් යටතේ සිසුන් 8,417 දෙනෙකු පෙනී සිටි අතර, 4,201 ක් සුදුසුකම් ලබා අයදුම් කළ 2,693 දෙනා අතුරින් සිසුන් 1,123 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගෙන ඇත.
එසේම 2025/2026 අධ්‍යයන වර්ෂය සඳහා අලුතින් අධ්‍යයන පාඨමාලා දෙකක් හඳුන්වා දීමටද කටයුතු යොදා තිබේ. ඒ අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය සඳහා භූගෝලීය තොරතුරු පද්ධති පාඨමාලාව යෝජිත සිසුන් 50 දෙනෙකුගේ ධාරිතාවයකින් යුතුව හඳුන්වා දී ඇත. රුහුණ විශ්වවිද්‍යාලය සඳහා ඉලෙක්ට්‍රොනික සහ බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව පාඨමාලාවද සිසුන් 50 දෙනෙකු ඇතුළත් කරගැනීමේ අරමුණින් හඳුන්වා දී ඇති අතර, මෙම අලුතින් හඳුන්වා දුන් පාඨමාලා ද්විත්වය සඳහා බඳවා ගැනීමට යෝජිත සමස්ත සිසුන් සංඛ්‍යාව 100 කි.