මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති අතර, එහි ආරක්ෂාව බන්ධනාගාර අධිකාරිය ඇතුළු ආරක්ෂක අංශ විසින් සම්පූර්ණයෙන්ම තහවුරු කර තිබේ. විශේෂ කාර්ය බලකාය, පොලිසිය සහ බන්ධනාගාර පාලනාධිකාරිය එක්ව උදෑසන වන විට බන්ධනාගාරයේ අභ්‍යන්තර පාලනය සම්පූර්ණයෙන්ම තම භාරයට ගෙන ඇති අතර, පෙර දින රාත්‍රියේ එම ස්ථානයට කැඳවා තිබූ ගිනි නිවන රථ සහ ගිලන් රථ ද පරිශ්‍රයෙන් පිටත්ව ගොස් ඇත.
රැඳවියන් හාරදහසකට අධික පිරිසක් රඳවා සිටින මහර බන්ධනාගාරය මීගමුව බන්ධනාගාරයට වඩා පැරණි මෙන්ම වැඩි ධාරිතාවකින් යුත් ස්ථානයක් බැවින් එහි පාලන කටයුතු යම් සංකීර්ණ තත්ත්වයක පවතී.මෙම ගැටුම්කාරී සිදුවීමේදී බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලයට ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇති බව වාර්තා වේ. ක්‍රිකට් ක්‍රීඩක ඉසුරු උදානගේ සොහොයුරෙකු වන ගයාන් නමැති මෙම ප්‍රධාන ජේලර්වරයා, මීගමුව බන්ධනාගාරයේ සිදුවූ නොසන්සුන්තාවයෙන් පසුව එදිනම මහර බන්ධනාගාරය වෙත ස්ථාන මාරුවීම් ලබා පැමිණි නිලධාරියෙකි. දූෂණයෙන් සහ අල්ලසෙන් තොර දැඩි පාලන තන්ත්‍රයක් නිලධාරීන් මෙන්ම රැඳවියන් කෙරෙහිද පවත්වාගෙන ගිය නිලධාරියෙකු ලෙස ඔහු ප්‍රකට අතර, එම පාලන අධිකාරියට එරෙහිව ඇති වූ විරෝධය මෙම ගිනි තැබීමට හේතු වන්නට ඇතැයි අනුමාන කෙරේ.
බන්ධනාගාර තාප්පයේ අලුත්වැඩියා කරමින් පැවති කොටසක සවිකර තිබූ තහඩුවක් ගලවා රැඳවියන් පිරිසක් පලා යාමට උත්සාහ කළ බවටද තොරතුරු පවතී. ආරක්ෂාව සඳහා දිනපතා ජංගම ආරක්ෂක රථයක් යොදවා තිබුණද, පලා යාමේ මෙම උත්සාහය සිදුවූයේ කැරලි තත්ත්වයට පෙරද නැතහොත් පසුවද යන්න මෙතෙක් පැහැදිලි වී නොමැත. සෙනසුරාදා පස්වරුවේ රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් ඔවුන් නැරඹීමට පැමිණ සිටි අවස්ථාවේදී බන්ධනාගාර අභ්‍යන්තරයේ සිට පිටතට ගල් ප්‍රහාර එල්ල වීමත් සමඟ මෙම නොසන්සුන් තත්ත්වය ආරම්භ වූ බවට තොරතුරු ලැබී ඇත.
මෙම සිදුවීමෙන් රැඳවියෙකු ජීවිතක්ෂයට පත්ව තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති අතර, බන්ධනාගාර නිලධාරීන්ට සිදු වූ හානි පිළිබඳව නිශ්චිත තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත. මීගමුව බන්ධනාගාරයෙන් ආරම්භ වී මහර දක්වා ව්‍යාප්ත වූ මෙම තත්ත්වයට මත්ද්‍රව්‍ය ජාවාරම් සහ පාතාල මර්දන ක්‍රියාමාර්ග නිසා ඇති වූ පීඩනය සෘජුවම බලපාන්නට ඇති බව විශ්වාස කෙරේ. විවිධ කණ්ඩායම් එකිනෙක ගැටීම සහ සුළු වැරදි සම්බන්ධයෙන් අධික ලෙස පිරිස් රක්ෂිත බන්ධනාගාරගත කිරීම හේතුවෙන් හටගන්නා අධික තදබදය අවම කිරීමට ඇප ලබාදීමේ ක්‍රමවේදයන් වේගවත් කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු විය යුතුව ඇත.