attorney-general-approves-judicial-system-reforms-including-increase-in-judges-pensions

ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ නඩු ප්‍රමාදයන් අවම කිරීම අරමුණු කරගනිමින් යෝජිත ව්‍යුහාත්මක සංශෝධන මාලාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල වන බවට නීතිපතිවරයා විසින් සහතික කර තිබේ. ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, අධිකරණ සංවිධාන පනත සහ රජයේ හා අධිකරණ නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ ආඥා පනත යන නෛතික ප්‍රතිපාදන වෙනස් කරමින් මෙම නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නැංවීමට කටයුතු යොදා ඇත.




යෝජිත මෙම නෛතික වෙනස්කම්වලට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, මහාධිකරණය මෙන්ම දිසා සහ මහේස්ත්‍රාත් අධිකරණ නියෝජනය කරන සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව අවුරුදු දෙකකින් ඉහළ දැමෙනු ඇත. මෙයට අමතරව අභියාචනාධිකරණ විනිසුරු ධුර සංඛ්‍යාව 19 සිට 24 දක්වාත්, මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 110 සිට 120 දක්වාත් වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

නඩු ගොඩගැසීමේ අර්බුදයට ප්‍රායෝගික විසඳුම් ලබාදෙමින් පැවති සිවිල් අභියාචන මහාධිකරණය වෙනුවට එවැනි මහාධිකරණ දෙකක් ස්ථාපිත කර ඇති අතර, වාණිජ මහාධිකරණ ප්‍රමාණය 3 සිට 5 දක්වා සහ අපරාධ නඩු විභාග කෙරෙන මහාධිකරණ ප්‍රමාණය 8 සිට 11 දක්වා වර්ධනය කර ඇත. එමෙන්ම හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාස කිහිපයක්ම අධිකරණ සංකීර්ණ බවට පරිවර්තනය කිරීමට ද කටයුතු කර තිබේ.




අල්ලස් නඩු කඩිනමින් විභාගයට ගැනීම සඳහා කොළඹ මහාධිකරණයේ අංක 06, 10 සහ 11 යන ශාලාවල දිනපතා නඩු විභාග පැවැත්වීමට පහසුකම් සලසා ඇති අතර, දෙයියන්දර, අඟුණකොළපැලැස්ස, බිබිල සහ ගල්ගමුව ඇතුළු ප්‍රාදේශීය මහේස්ත්‍රාත් අධිකරණ 8ක බලතල දිස්ත්‍රික් මට්ටම දක්වා පුළුල් කර ඇත.

නිලධාරී හිඟය හේතුවෙන් වසා දමා තිබූ රත්නපුර, ගම්පහ, අනුරාධපුර සහ අම්පාර අධිකරණ නැවත ආරම්භ කර ඇති අතර පුත්තලම, වැල්ලවාය, හැටන් සහ වැලිසර යන ප්‍රදේශවල නව අධිකරණ ස්ථාපිත කර තිබේ. මීට අමතරව නඩු විභාග කිරීමේ වේගය ඉහළ නැංවීමේ අරමුණින් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් බඳවා ගැනීමටත්, නූතන තාක්ෂණික යන්ත්‍රෝපකරණ ලබාදීමටත් කටයුතු සම්පාදනය වෙමින් පවතී.