නියමිත නිල ඇඳුම් සහිත සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සිය රාජකාරි නිරත වන අතරතුර අනිවාර්යයෙන්ම එම නිල ඇඳුමින් සැරසී සිටිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. සංස්කෘතික, දේශගුණික හෝ වෙනත් යම් හේතුවක් මත නිල ඇඳුමේ වෙනසක් කිරීමට අවශ්‍ය නම්, ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිල ඇඳුම් කමිටුව වෙත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බව හෙතෙම සඳහන් කරයි.
කල්මුණේ උතුර මූලික රෝහලේ පසුගියදා ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, අදාළ ගැටලුව නිල ඇඳුම හා බැඳුණු එකක් බවයි. එම සිදුවීමේදී නිවැරදිවම සිදු වූයේ කුමක්ද නැතහොත් එම නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ කවුරුන්ද යන්න පිළිබඳව තමා නිශ්චිතවම නොදන්නා බවත්, පසුගිය සතියේ අමාත්‍යාංශයට මේ පිළිබඳ තොරතුරු වාර්තා වුවද ඊට සෘජුව මැදිහත් නොවූ බවත් ඔහු පැවසීය.
සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ වෘත්තීන් 300 කට ආසන්න සංඛ්‍යාවක් පවතින බවත්, ඇතැම් වෘත්තීන් සඳහා නියමිත නිල ඇඳුම් පැවතුණද තවත් සමහර වෘත්තීන් සඳහා එවැන්නක් නියම කර නොමැති බවත් අමාත්‍යාංශ ප්‍රතිපත්තිය පැහැදිලි කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. නිදසුනක් ලෙස ලිපිකරු සේවයේ නිලධාරීන්ට විශේෂ නිල ඇඳුමක් නොමැති අතර, නිල ඇඳුම් හිමි නොවන සේවකයින්ට සුදුසු ඇඳුමකින් සැරසී රාජකාරියට වාර්තා කළ හැක. එහෙත්, නිල ඇඳුම් නියම කර ඇති ක්ෂේත්‍රවල නිලධාරීන් රාජකාරි ඉටු කිරීමේදී එම නිල ඇඳුම පැළඳීම අනිවාර්ය වේ.
දේශගුණික හෝ සංස්කෘතිකමය හේතූන් මත පවතින නිල ඇඳුමින් සැරසීමට අපහසුතා පවතින්නේ නම්, පවතින ආකාරයෙන් නිල ඇඳුම පැළඳීමට නොහැකි බව දක්වමින් අවශ්‍ය වෙනස්කම් ඉල්ලා නිල ඇඳුම් කමිටුවට අභියාචනා කිරීමට අවස්ථාව පවතී. ස්වයංක්‍රීයව තමන්ට අවශ්‍ය පරිදි නිල ඇඳුම් වෙනස් කිරීමට කිසිවෙකුටත් නොහැකි අතර, යම් හෙයකින් සික් ජාතිකයෙකු සෞඛ්‍ය සේවයට එක්වුවහොත් ඔහුගේ ආගමික හෝ සංස්කෘතික අවශ්‍යතාවයකට අදාළව ඇඳුමේ වෙනසක් කිරීමට සිදුවන්නේ නම්, එම යෝජිත වෙනස්කම්ද සලකා බැලිය යුත්තේ අදාළ නිල ඇඳුම් කමිටුව විසිනි.