an-illegal-gambling-racket-that-cuts-boxes-based-on-national-lottery-winning-numbers

ලොතරැයි දිනුම් අංක පදනම් කරගනිමින් දිවයින පුරා ව්‍යාප්ත වන "කොටු කැපීමේ" නීති විරෝධී සූදු ජාවාරම මැඩපැවැත්වීම සඳහා ජාතික ලොතරැයි මණ්ඩලය මධ්‍යම අපරාධ පරීක්ෂණ කාර්යාංශයට (CCIB) නිල පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම නීති විරෝධී ක්‍රියාවට මහජනතාව පෙළඹීම වැළැක්වීමේ අරමුණින් විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද එම මණ්ඩලය මගින් ආරම්භ කර ඇත.




ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට වත්මන් ජාතික ලොතරැයි මණ්ඩල පනත යටතේ ප්‍රතිපාදන නොමැති බව හෙළිවීමත් සමඟ, ඊට අදාළ නීතිමය බලතල සපයා ගැනීම සඳහා පනත් සංශෝධන හෝ නව රෙගුලාසි සකස් කිරීමට ජාතික ලොතරැයි මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ සහාය ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති සිරිල් ඇන්තනි පෙරේරා මහතා සඳහන් කළේ, පවතින පනත යටතේ තම ආයතනයට සෘජුව අදාළ වන සිදුවීම් සඳහා පමණක් පියවර ගත හැකි බවයි. මීට පෙර පැවති සූදු ආඥාපනත දැනට බලපැවැත්වෙන්නේ නැති බැවින්, දැනට පවතින සූදු නියාමන අධිකාරී පනත යටතේ අවශ්‍ය සංශෝධන සිදුකර මෙම ප්‍රශ්නයට නීතිමය විසඳුමක් ලබා දෙන ලෙස අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටි බව හෙතෙම පැහැදිලි කළේය.




මෙම සූදු ක්‍රියාවලිය එකම මධ්‍යස්ථානයකින් සිදුවන සංවිධානාත්මක මෙහෙයුමක් ලෙස නොව, දිවයින පුරා විසිරුණු කුඩා කණ්ඩායම් ලෙස පවත්වාගෙන යනු ලබයි. අදාළ ස්ථාන වටලා නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලධාරීන් යොදවා ඇති අතර ඊට සමගාමීව මහජනතාව දැනුවත් කිරීමේ කටයුතු ද දැනට සිදුවෙමින් පවතී.

පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ ද කරුණු දක්වමින් ජාතික ලොතරැයි මණ්ඩලය මීට පෙර මේ පිළිබඳව අවධානය යොමු කර තිබුණි. ගම් මට්ටමින් කුඩා මුදල් ප්‍රමාණවලින් ආරම්භ වූ මෙම "කොටු කැපීමේ" නීති විරෝධී සූදුව, මේ වන විට ඇතැම් ප්‍රදේශවල රුපියල් 100,000 දක්වා වූ විශාල ඔට්ටු අල්ලන මට්ටම දක්වා ව්‍යාප්ත වී ඇති බව එහිදී වැඩිදුරටත් අනාවරණය විය.