if-child-labor-is-employed-the-fine-will-be-increased-to-rs

ළමා ශ්‍රමය යොදවා ගැනීමට එරෙහිව පවතින දඩ මුදල රුපියල් දසදහසේ සිට රුපියල් ලක්ෂය දක්වා ඉහළ නැංවීම ඇතුළත් ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයෙහි යෙදවීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත විය. විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූ ළමා හා කාන්තා කටයුතු ඇමැතිනි සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සඳහන් කළේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සේවයේ යෙදවීම පූර්ණ ලෙස තහනම් වන අතර වයස 16ත් 18ත් අතර පසුවන්නන් අන්තරාකාරී රැකියාවල යෙදවීමද වළක්වා ඇති බවයි.

මෙතෙක් පැවති ලිහිල් නීති හමුවේ ළමයින් සූරාකෑමට ලක්වූ බවත්, ඒ අනුව ළමයින් යොදවා ගැනීම තහනම් කර ඇති රැකියා ක්ෂේත්‍ර සංඛ්‍යාව 51 සිට 71 දක්වා වැඩි කිරීමට පියවර ගත් බවත් ඇය පැවසුවාය. අධිකරණය මගින් ලබා දෙන සෙසු දණ්ඩනයන්ට අමතරව මෙම දඩ මුදල් සංශෝධනය ක්‍රියාත්මක වන බවද ඇමතිවරිය වැඩිදුරටත් කියා සිටියාය.




මෙහිදී අදහස් දැක්වූ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය පෙන්වා දුන්නේ දඩ මුදල් වැඩි කිරීමෙන් පමණක් ළමා ශ්‍රමය වැළැක්විය නොහැකි බවත්, ආර්ථික අපහසුතා, පවුල් පසුබිම සහ ගෘහස්ථ හිංසනය වැනි ළමයින් පාසල් හැරයාමට බලපාන මූලික හේතුවලට පිළියම් යෙදිය යුතු බවත්ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ දෙමාපියන්ගේ ජීවනෝපාය අඩපණ වීම තුළින් දරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිතභාවයට බාධා පැමිණෙන බවයි. කිරින්ද ධීවර වරාය අකර්මණ්‍ය වීම මෙන්ම ඊශ්‍රායල රැකියා වැඩපිළිවෙළ ඇනහිටීම නිසා පෞද්ගලික අංශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවීමෙන් තරුණ පරපුර අසරණ වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය මැදිහත්වීම පිළිබඳ කරුණු පැහැදිලි කළ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළේ දරුවන් වසර 13ක අධ්‍යාපන කාලය තුළ රඳවා තබා ගනිමින් සුරක්ෂිත පාසල් පරිසරයක් නිර්මාණය කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනැවිත් ඇති බවයි. ඒ අනුව පළමු ශ්‍රේණියට නව විෂය මාලාව හඳුන්වා දී ඇති අතර 2027 වසරේදී දෙවන සහ හයවන ශ්‍රේණි සඳහාද එය ක්‍රියාත්මක කිරීමටත්, ප්‍රාථමික අධ්‍යාපන යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් 2026 වසරේදී රුපියල් මිලියන 1900ක් වෙන් කිරීමටත් පියවර ගෙන ඇති බව ඇය පැවසුවාය. පාසල් නිවාඩු කාලය දරුවන්ට නිදහසේ ගත කිරීමට ඉඩ දෙන ලෙසද ඇය විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කළාය.




කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රිනී සාගරිකා අතාවුද මහත්මිය අවධාරණය කළේ නීති විරෝධී ලෙස ළමා ශ්‍රමය භාවිතා කිරීමට රජය ඉඩ නොදෙන බවත්, දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් කමිටු පවා පිහිටුවා ඇති බවත්ය. කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65 හෝ 67 දක්වා දීර්ඝ කිරීමේ සූදානම සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමයට ඒ පිළිබඳ අදහස් දැක්වීමට අවස්ථාව නොදීම ගැන ප්‍රශ්න කළ අතර, පවතින බදු බර නිසා ව්‍යාපාරිකයන් මෙන්ම මහජනතාවද දැඩි අසීරුතාවට පත්ව සිටින බව පෙන්වා දුන්නේය.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී චමින්ද්‍රානි කිරිඇල්ල මහත්මිය සභාවේ අවධානය යොමු කළේ විවාහයෙන් පිටත උපත ලබන දරුවන්ගේ පීතෘත්වය තහවුරු කිරීමේදී මතුවන ගැටලු කෙරෙහිය. දරුවාගේ සහ මවගේ කීර්ති නාමය ආරක්ෂා කරගනිමින් දරුවන්ට පාසල් ඇතුළත් වීමට පවතින බාධා ඉවත් කිරීම සඳහා ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණ සිදුකිරීමට අධිකරණයට බලය පැවරීමේ අවශ්‍යතාව ඇය මෙහිදී අවධාරණය කළාය.