house-arrest-comes-to-reduce-prison-congestion

මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදයට සාර්ථක විසඳුමක් ලෙස, රිමාන්ඩ් භාරයට ගැනීම හෝ බන්ධනාගාරගත කිරීම වෙනුවට සුදුසු නඩු කටයුතුවලදී සැකකරුවන් සහ වැරදිකරුවන් නිවාස අඩස්සියේ තැබීමට අදාළ නීතිමය විධිවිධාන සකස් කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ප්යතිස්ස මහතා මේ බව තහවුරු කළේය.




මෙම විකල්ප ක්‍රමවේදය හඳුන්වා දීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය ලබාදුන් ප්‍රතිපත්තිමය අනුමැතිය පදනම් කරගනිමින්, අදාළ පනත් කෙටුම්පත සකස් කිරීමේ පියවර නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනටමත් ආරම්භ කර ඇත. එම සකස් කරන ලද කෙටුම්පත වැඩිදුරටත් අධ්‍යයනය කර සමාලෝචනය කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට 2025 ජුනි 23 වැනි දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවී තිබිණි.

එම පනත් කෙටුම්පතට තවදුරටත් ඇතුළත් විය යුතු අත්‍යවශ්‍ය විධිවිධාන කිහිපයක් මේ වන විට හඳුනාගෙන ඇති අතර, එම කරුණු ද ඊට ඇතුළත් කරමින් කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනමින් නිම කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමට තීරණය කර තිබේ. අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අදාළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව ඇත.