arrested-bodhiraja-pura-vimukti-who-prepared-for-human-slaughter

ප්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සාමාජිකයන්ගෙන් පළිගැනීමේ අරමුණින් තියුණු ආයුධ රැස්කරමින් ප්‍රහාරයක් සැලසුම් කළ බව කියන 21 හැවිරිදි සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (04) සිදු කරන ලද මෙම වැටලීමේදී සැකකරු සමඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 23,500ක්, කඩුවක් සහ කිණිස්සක් ද පොලිස් භාරයට ගැනීමට සමත්ව ඇත.




පසුගිය ජූලි 19 වැනිදා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන "කොස් මල්ලි" නමැත්තාගේ පාර්ශ්වයේ පිරිසක් යතුරුපැදි හතරකින් පැමිණ බොරලැස්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසකට කඩා වැදී පහරදී තරුණියකට තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකර තිබුණි. මෙම සිදුවීමට පළිගැනීමක් ලෙස, ඩුබායි රාජ්‍යයේ සිට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන "චමිල" නමැති සංවිධානාත්මක අපරාධකරුගේ ජාලයේ ප්‍රබල සාමාජිකයෙකු වන "බෝධිරාජා පුර විමුක්ති" නමැත්තා බොරලැස්ගමුව වැව පාරේ නිවසක රැඳී සිටිමින් අදාළ ප්‍රහාරය සංවිධානය කරමින් සිට ඇති බව හෙළි වී තිබේ.

පානදුර වලාන මධ්‍යම ප්‍රහාරක බලකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලැබුණු තොරතුරකට අනුව පොලිස් පරීක්ෂකවරයෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් අදාළ නිවස වටලා මෙම සැකකරු සහ ආයුධ අත්අඩංගුවට ගෙන ඇත. මීට පෙර ද පුද්ගල පැහැරගැනීම්, පහරදීම්, තියුණු ආයුධවලින් කපා කොටා බරපතළ තුවාල සිදුකිරීම් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයකින්ම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවේ නඩු පවතින අයෙකු ලෙස ද මෙම සැකකරු හඳුනාගෙන තිබේ.




පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ මෙම වැටලීම, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතාගේ නියෝග සහ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිදු කර ඇත.