geetas-ex-husband-chris-died-in-his-sleep

හිටපු කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍යවරියක මෙන්ම ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනියක වන ගීතා කුමාරසිංහ මහත්මියගේ හිටපු සැමියා වන ස්විට්සර්ලන්ත ජාතික ක්‍රිස් ෆුරර් ෆර්ඩිනැන්ඩ් (Chris Fuhrer Ferdinand) මහතා අභාවප්‍රාප්ත වී තිබේ.




බත්තරමුල්ල, ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සිය දියණියගේ නිවසේ රැඳී සිටියදී 81 වැනි වියෙහි පසුවූ ඒ මහතා මෙසේ මියගොස් ඇති බව තලංගම පොලීසිය තහවුරු කරයි. පසුගිය 20 වැනිදා උදෑසන ඔහු අවදි නොවීම හේතුවෙන් ඇති වූ සැකය මත පවුලේ උදවිය විසින් පොලීසිය දැනුවත් කර ඇති අතර, පසුව පැමිණි තලංගම පොලිස් නිලධාරීන් පරීක්ෂා කිරීමේදී ඔහු සිය නිදි යහන මතම මියගොස් සිටිනු දැක ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂණය පැවැත්වූ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය, පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට යොමු කිරීමට නියෝග කළාය. පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව, මියගිය අයගේ අවසන් කැමැත්තට අනුව දේහය අවසන් කටයුතු සඳහා ස්විට්සර්ලන්තයට රැගෙන යාමට නියමිත අතර තලංගම පොලිසියේ පොලිස් කොස්තාපල් (97482) චතුරංග ඇතුළු නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.

දශක හතරකට ආසන්න කාලයක් ගීතා කුමාරසිංහ මහත්මිය සමඟ විවාහ වී සිටි ක්‍රිස් ෆුරර් මහතාට සහ ඇයට තාරිකා ෆියෝනා නමැති දියණියක සිටී. මෙම විවාහය හේතුවෙන් කුමාරසිංහ මහත්මියට ස්විට්සර්ලන්ත ද්විත්ව පුරවැසිභාවය හිමි වූ අතර, පසුව එය ඇගේ දේශපාලන ජීවිතය තුළ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහිමි වීමට තරම් ප්‍රබල නීතිමය සංවාදයකට මුලපිරීය.




පසුව ඇය ස්විට්සර්ලන්ත පුරවැසිභාවය අතහැර දමා නැවත ශ්‍රී ලංකා දේශපාලනයට සක්‍රියව එක්වූ අතර, පසුකාලීනව 2018 වසරේදී ඔවුන් දෙදෙනා නීත්‍යානුකූලව වෙන් විය.

 ප්‍රමුඛ පෙළේ ස්විට්සර්ලන්ත ව්‍යාපාරිකයකු වූ ඔහු, ශ්‍රී ලංකාවේ විදුල්ලංකා සමාගම ඇතුළු ව්‍යාපාර කිහිපයක සැලකිය යුතු කොටස්හිමිකාරීත්වයක් දැරූ අයෙකි. එමෙන්ම ගීතා කුමාරසිංහ මහත්මිය නිෂ්පාදනය කළ සම්මානනීය සිනමා නිර්මාණ සඳහා මූල්‍යමය දායකත්වය ලබා දෙමින් සහ දේශීය ඇඟලුම් කර්මාන්තශාලා ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම සිනමා ක්ෂේත්‍රයටද ඔහු සැලකිය යුතු දායකත්වයක් ලබා දී තිබුණි.

geetas-ex-husband-chris-died-in-his-sleep