government-school-term-schedule-is-released

2027 වර්ෂය සඳහා වූ රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල්වල පාසල් වාර සටහන මෙන්ම නිවාඩු කාලසීමාවන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. යෝජිත රජයේ නිවාඩු දින සහ පාසල් දිනදර්ශනයට අනුව ඉදිරි වර්ෂයේදී සමස්ත පාසල් දින ගණන 197ක් ලෙස පවත්වාගෙන යාමට සැලසුම් කර ඇත.




ඒ අනුව නව අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරය 2027 ජනවාරි 04 වන සඳුදා දින ආරම්භ වී අප්‍රේල් 09 වන සිකුරාදා දක්වා පැවැත්වීමට නියමිතය. පළමු වාර නිවාඩුව අප්‍රේල් 10 වනදා සිට අප්‍රේල් 25 වනදා දක්වා හිමිවන අතර, දෙවන වාරය 2027 අප්‍රේල් 26 වන සඳුදා දින ආරම්භ වේ. එම වාරය ජූලි 30 වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වන අතර, දෙවන වාර නිවාඩුව ජූලි 31 වනදා සිට අගෝස්තු 29 වනදා දක්වා ලබා දීමට කටයුතු යොදා තිබේ.

තෙවන පාසල් වාරය 2027 අගෝස්තු 30 වන සඳුදා දින ආරම්භ වී දෙසැම්බර් 03 වන සිකුරාදා දිනෙන් නිමාවට පත්වීමට නියමිතව ඇත. මීට අමතරව, 2027 වර්ෂයට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය 2027 අගෝස්තු මාසයේදී පැවැත්වීමටත්, අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය 2027 දෙසැම්බර් මාසයේදී පැවැත්වීමටත් අමාත්‍යාංශය සැලසුම් කර ඇත.




මේ අතර 2027 වර්ෂයේ 12 ශ්‍රේණිය සඳහා වන නව පන්ති ආරම්භ කිරීම ජූනි 15 වනදා සිදු කිරීමට නියමිතය. එමෙන්ම විෂය නිර්දේශ ආවරණය කිරීම සහ වාර විභාග පැවැත්වීම සම්පූර්ණ කරමින් 13 ශ්‍රේණියේ තෙවන පාසල් වාරය 2027 ජූලි 16 වන දින අවසන් කළ යුතු බවට ද අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.