kalutara-catches-two-fake-doctors

වෛද්‍යවරුන් ලෙස පෙනී සිටිමින් දීර්ඝ කාලයක් මුළුල්ලේ ජනතාව මුලා කරමින් ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබේ. අලුත්ගම, දර්ගා නගරය ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ මෙම නීති විරෝධී වෛද්‍ය මධ්‍යස්ථාන හදිසි පරික්ෂාවට ලක් කිරීමේදී මොවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොවූ පුද්ගලයන් බව නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත.




සුදුසුකම් හෝ නිල ලියාපදිංචියකින් තොරව නීති විරෝධී ලෙස මහජනතාවට වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමේ වරද මත මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත් ව්‍යාජ වෛද්‍යවරුන් දෙදෙනා පසුගිය 20 වැනිදා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව පැවතිණි.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ ක්ෂේත්‍ර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චරිත් හෙට්ටිආරච්චි මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. මෙම වැටලීම සඳහා අළුත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සම්පත් නිරෝෂණ මහතා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.