
විදේශගතව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන රසල් ස්මිත් නමැත්තාගේ ඥාතියකුට අයත් රත්මලාන ඥානේන්ද්‍ර පාරේ පිහිටි දෙමහල් නිවෙසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට සම්බන්ධ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනෙකු ගල්කිස්ස මූලස්ථාන පොලිසිය මගින් පෙරේදා (8) අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ ක්‍රියාත්මක වන "කුඩු අංජු" නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයන් පිරිසකි.
ඉකුත් 5 වැනිදා අලුයම 3.30 ත් 5.30 ත් අතර කාලය තුළ අදාළ නිවෙස වෙත අවස්ථා දෙකකදී අත්බෝම්බ එල්ල කර ඇත. එහිදී මුලින්ම දමන ලද බෝම්බය පිපිරී නොයාම හේතුවෙන් සැකකරුවන් විසින් දෙවැනි බෝම්බ ප්‍රහාරය එල්ල කර ඇති බව පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. මෙම ප්‍රහාරයෙන් නිවෙසේ වීදුරු ජනෙල් කිහිපයකට හානි සිදු වී ඇති අතර, සිද්ධියෙන් කිසිදු පුද්ගලයකුට හානියක් සිදු වී නොමැත.
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී ජංගම දුරකතනයක් ද පොලිස් භාරයට ගෙන ඇති අතර, ප්‍රහාරයට පෙර සහ පසු එම ස්ථානයේ ලබාගත් ඡායාරූප එහි සටහන්ව තිබී ඇත. ප්‍රහාරය සාර්ථකව සිදු කළ බවට තහවුරු කිරීම සඳහා ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින කුඩු අංජුගේ සමීපතමයකු වන "දුමුදු" නමැත්තා වෙත වට්ස්ඇප් (WhatsApp) ඔස්සේ එම ඡායාරූප යොමු කළ බව ප්‍රධාන සැකකරු වැඩිදුරටත් හෙළි කර තිබේ. එමෙන්ම, නිවෙසට දමන ලද බෝම්බයේ සේෆ්ටි පින් (Pin) එක ද සැකකරු සන්තකයේ තිබී පොලිසිය විසින් සොයාගෙන ඇති අතර, මෙම අත්බෝම්බ ප්‍රහාරය එල්ල කිරීම වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ තුනක මුදලක් ලැබී ඇති බවද කියැවේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිරිස අතර බෝම්බ ප්‍රහාරය සෘජුව එල්ල කළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාට අමතරව, අදාළ නිවෙස පෙන්වා දුන් පුද්ගලයා සහ ප්‍රහාරයෙන් පසු සැකකරුවන්ට නවාතැන් පහසුකම් ලබා දුන් පුද්ගලයා ද වෙති. බෝම්බ ප්‍රහාරයෙන් අනතුරුව සැකකරුවන් දුම්රිය මාර්ගය ඔස්සේ දිවගොස් අසල නිවෙසක සැඟවී ඇති අතර, ඔවුන්ට සැඟවීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත එම නිවෙසේ සිටි තැනැත්තා ද අත්අඩංගුවට පත්විය. ප්‍රධාන සැකකරුවන් දෙදෙනා එගොඩඋයන පොලිස් වසමේ නිවෙසකින් ද, අනෙක් සැකකරු රත්මලාන ආර්ථික මධ්‍යස්ථානය අසල පිහිටි නිවෙසකින් ද මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මෑතක සිට රත්මලාන ප්‍රදේශයේ කුඩු අංජු සහ කොස් මල්ලි යන පාර්ශ්වයන් අතර පවතින උග්‍ර කල්ලි ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට පොලිසිය පවසයි. රත්මලාන සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන මෙම සැකකරුවන් සිව්දෙනා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.