nothing-happened-to-the-letter-we-sent-about-the-judges-retirement-age---malwathu-told-free-lawyers

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ නොකරන ලෙස ඉල්ලමින් ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපියට සිදු වූ දෙයක් පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති බව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ සඳහන් කරති. එම ලිපිය ජනාධිපති කාර්යාලය වෙත ලැබුණේ ද යන්න පවා අද වන තෙක් මහා නායක හිමිවරුන් වෙත දැනුම් දී නොමැති බව උන්වහන්සේ පවසති.




විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ෆ්‍රී ලෝයර්ස් සංවිධානයේ සභාපති, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නීතිඥ නියෝජිත පිරිසක් මහනුවරට පැමිණ මහා නාහිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මේ බව අනාවරණය කළහ.

එහිදී අදහස් දැක්වූ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පෙන්වා දුන්නේ, සේවයෙන් විශ්‍රාම යාමට ආසන්නව සිටින විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට පියවර ගැනීම යනු ඔවුන් වෙත අල්ලස් දීම වැනි ක්‍රියාවක් බවයි. විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමේ තීරණයට මෙරට සියලුම පාර්ශ්වයන් එකහෙළා විරෝධය පළ කර සිටියද, වත්මන් ආණ්ඩුව එම විරෝධතාවන් කිසිසේත් ගණන් නොගෙන කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.




මහනුවර අධිකරණ සංකීර්ණයේ විදුලි සෝපානය පවා මාස දහයක් තිස්සේ අක්‍රිය වී තිබියදී එය යථා තත්ත්වයට පත් කර ගැනීමටවත් අසමර්ථ වී ඇති රජයට අවශ්‍යව ඇත්තේ විනිසුරු විශ්‍රාම කාලය දීර්ඝ කරමින් අධිකරණ පද්ධතිය තමන්ට අවශ්‍ය පරිදි පාලනය කිරීමට බවට මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් චෝදනා කළේය. එම ක්‍රියාවට කිසිසේත් ඉඩ නොතබන බවත්, දේශපාලන පක්ෂ භේදයකින් තොරව නිදහස් සටන් මධ්‍යස්ථානයක් හරහා නීතිඥ සංගමය හා එක්ව ඊට එරෙහිව සටන් කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

මහ නාහිමියන් හමුවූ මෙම අවස්ථාව සඳහා නීතිඥ ශිරාල් ලක්තිලක, සමාජ ක්‍රියාකාරී රවී කුමුදේශ් සහ මහනුවර නීතිඥ සංගමය නියෝජනය කරමින් එක්වූ නීතිඥ බුද්ධික සමරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වී සිටියහ.