අඟුරුවාතොට, උඩුවර ප්‍රදේශයේ නිවසක මුදලට බූරුවා ගසමින් සිටියදී අත්අඩංගුවට ගත් 77 හැවිරිදි මහලු කාන්තාවකට, ඇගේ මිණිබිරියන් දෙදෙනාට සහ අසල්වැසියකුට මාස තුනක අත්හිටවූ සිර දඬුවම් නියම කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය පියවර ගෙන තිබේ. සිර දඬුවමට අමතරව එම සැකකරුවන් හතරදෙනාට පැය 50 බැගින් වූ ප්‍රජා සේවයේ නිරත වන ලෙසට ද නියෝග කෙරිණි.
අදාළ ප්‍රජා සේවා කටයුතු සැකකරුවන් පදිංචි ප්‍රදේශයට ආසන්නයේ පිහිටි විහාරස්ථානයකදී සිදුකළ යුතු බවට අධිකරණය වැඩිදුරටත් නියෝග කර ඇත. උඩුවර ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී සූදු පොළ පිළිබඳ අඟුරුවාතොට පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඉකුත් 06 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
පොලිස් නිලධාරීන් මෙම වැටලීම සිදු කරන අවස්ථාවේදී සූදුවේ නිරත වෙමින් සිටි තවත් පිරිසක් පලාගොස් ඇති අතර, එලෙස පලාගිය එක් පුද්ගලයකු අනතුරකට ලක්වීමෙන් හිසට මැහුම් හතරක් යෙදීමට සිදුවූ බව ද පොලිසිය අධිකරණය හමුවේ කරුණු අනාවරණය කළේය. එමෙන්ම, සැකකරුවන් පොලිස් ස්ථානයට රැගෙන ඒමෙන් පසුව ඔවුන්ගේ හැසිරීම් රටාව යහපත් කිරීමේ අරමුණින් ධර්ම දේශනයක් ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමට අඟුරුවාතොට පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර තිබූ බව ද මෙහිදී අනාවරණය විය.