නේපාලයේ සිදු වූ ඛේදවාචකයට සමාන ස්වාභාවික ආපදා කුඩා පරිමාණයෙන් හෝ ශ්‍රී ලංකාව තුළ ඕනෑම මොහොතක ඇතිවීමේ දැඩි අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූගර්භ හා භූ විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි. විදෙස් රටවල සිදුවන මෙවැනි විපත්තිදායක තත්ත්වයන්ගෙන් මෙරට ආපදා කළමනාකරණ බලධාරීන් සෘජු පාඩම් ඉගෙන ගත යුතු බව හෙතෙම පෙන්වා දෙයි.
පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ 'දිට්වා' සුළි කුණාටු සමයේදී සරසවිගම ප්‍රදේශයෙන් වාර්තා වූ ඛේදනීය නායයෑම මීට කදිම නිදසුනක් ලෙස පෙන්වා දිය හැකිය. එහිදී සිදුවූ නායයෑම හේතුවෙන් ප්‍රදේශයේ ප්‍රධාන ඇළ මාර්ගයක් ඇහිරී ගිය අතර, පසුව එකතු වූ ජල කඳ සමස්ත ගම්මානයම යටපත් කරමින් පුද්ගලයන් විස්සකට වැඩි පිරිසකට ජීවිත අහිමි කළේය.
ගංගා සහ ඇළ දොළ ආශ්‍රිතව පවතින දිරාපත් වූ පාෂාණ සහ විශාල පස් තට්ටු නායයෑමට ලක්වීමෙන් ජල මාර්ග හදිසියේ අවහිර වීමේ හැකියාවක් පවතී. මෙලෙස එක්රැස් වන දැවැන්ත ජල ස්කන්ධය එකවරම අවහිරතා බිඳගෙන පහත් බිම් වෙත ගලා යාමෙන් නොසිතන මොහොතක මහා විනාශකාරී ක්ෂණික ජල ගැලීම් නිර්මාණය වේ.
සාමාන්‍ය නායයෑම් අවදානම් කලාප හඳුනාගෙන සිතියම්ගත කරන්නා සේම, ජල මාර්ග අවහිර වී මෙලෙස ක්ෂණික ජල ගැලීම් ඇතිවිය හැකි ස්ථාන ද කඩිනමින් සිතියම්ගත කළ යුතුව ඇත. පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති විධිමත්ව ස්ථාපිත කිරීම මගින් සරසවිගම සිදුවීමට සමාන අනාගත ආපදාවලින් සිදුවන ජීවිත හා දේපළ හානි වළක්වා ගැනීමට හැකියාව ලැබේ.
