
අට වසරකට ඉහතදී විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරියෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සහ තවත් තරුණියක ඉන්දියාවට ගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කළු පටි කරාතේ පුහුණුකරුවෙකුගෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරු රැසක් අනාවරණය වී ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දින 90ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරනු ලබන කුරුවිට මිල්ලවැටිය ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි බී.
සුමිත් ප්‍රියන්ත නමැති මෙම සැකකරු, ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාල සමඟ සබඳතා පැවැත්වූ අයෙකි.වාහන කොල්ලකෑම්, කප්පම් ගැනීම් සහ මනුෂ්‍ය ඝාතන ඇතුළු අපරාධ රැසකට චෝදනා ලබා සිටින මොහු, ඉකුත් ජූනි 8 වන දින පෑනක හැඩයෙන් යුත් විදේශීය නිෂ්පාදිත ගිනි අවියක් සහ ජීව උණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණි. පොලිස්පතිවරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂක පියල් දුනුසිංහ ඇතුළු කණ්ඩායම විසින් සැකකරු නිට්ටඹුව රන්පොකුණගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇත.
එහිදී හෙළි වූ තොරතුරු අනුව, 2018 සැප්තැම්බර් 9 වන දින කිරිඳිවෙල නාරංගස්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 47 හැවිරිදි අමරසිරි නිශ්ශංක නමැති විශ්‍රාමික හමුදා නිලධාරියා පැහැරගෙන ගොස් ඝාතනය කර ඇත්තේ වල්ලපට්ටා ව්‍යාපාරික ආරවුලක් සහ අනිෂ්ට සබඳතාවක් මුල් කරගනිමිනි. සැකකරු මියගිය නිලධාරියාගේ බිරිඳ සමඟ පැවැත්වූ අනිෂ්ට සබඳතාවට එකී නිලධාරියා බාධාවක් වූ බැවින් සහ ඔහුට අයත් දේපළ ලබාගැනීමේ අරමුණින්, පොලිසියෙන් බව අඟවා කිරිඳිවෙල පිහිටි ඔහුගේ නවාතැනට කඩා වැදී ගෙලට පහරදී මෙම ඝාතනය සිදුකර තිබේ.
ඝාතනයෙන් පසු මෘත ශරීරය මෝටර් රථයකින් කුරුවිට මිල්ලවිටිය ප්‍රදේශයේ පිහිටි අක්කර 11ක රබර් වත්තක අඩි හතරක් ගැඹුරු වළක වළදමා ඇතත්, සති තුනකට පමණ පසු හසුවනු ඇතැයි බියෙන් එය නැවත ගොඩගෙන ඇත. අලුයම් කාලයේදී පොහොර උරයක බහා ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් කිලෝමීටරයක් පමණ දුරින් වූ කුරුවිට නගරයේ පොලිසිය ආසන්නයේ ඇති පාලමෙන් කුරුවිට ගඟට දැමූ බව සැකකරු පිළිගෙන තිබේ. සැකකරුගේ මඟපෙන්වීම මත පොලිස් නිලධාරීන් ඉකුත් 25 වන දින මෙම ස්ථාන පරීක්ෂා කළේය.
මෙම ඝාතන සිද්ධිය වන සමයේදී සැකකරු සමඟ පෙම් සබඳතාවක් පැවැත්වූ කුරුවිට එක්නැලිගොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි සුනේත්‍රා රාජකරුණා නැමැති තරුණිය, මෙම අපරාධයේ තොරතුරු සහ බිරිඳ වෙත යැවූ කෙටි පණිවිඩ පිළිබඳ දැන සිටීම හේතුවෙන් ඇයවද අතුරුදහන් කිරීමට සැකකරු කටයුතු කර ඇත. 2019 පෙබරවාරි 2 වන දින ඉන්දියාවේ සාප්පු සවාරියක් යන මුවාවෙන් ඇයව ඉන්දියාවට කැඳවාගෙන ගොස්, එරට රැඳී සිටි 'දරුන්' නමැති සංවිධානාත්මක අපරාධකරුට භාර දී සැකකරු පෙරළා මෙරටට පැමිණ ඇති අතර, පසුව ඇය අතුරුදහන් වූ බවට තොරතුරු ලැබී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට, නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර, නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරි විජේකෝන්, සහකාර පොලිස් අධිකාරි ගමගේ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක පියල් දුනුසිංහ, පොලිස් සැරයන් මහේෂ් (10033), කොස්තාපල්වරුන් වන ලියනගේ (51904), විජේකෝන් (104808), සඳකැලුම් (35769), උභයසිංහ (104819), කුමාර (104757) සහ කාන්තා පොලිස් පරීක්ෂකවරියන් ඇතුළු කණ්ඩායමක් වැඩිදුර විමර්ශන පවත්වති.
