extortion-money-of-rs-150-million-was-collected-from-21-businessmen-led-by-bus-lalith

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ලලිත් කන්නන්ගර හෙවත් ‘බස් ලලිත්’ නමැත්තා මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් 21 දෙනෙකුගෙන් රුපියල් කෝටි 15 කට ආසන්න කප්පම් මුදලක් ලබාගෙන ඇති බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අනාවරණය කරගෙන තිබේ. කෙසේ වෙතත්, අදාළ සැකකරු කෙරෙහි පැවති දැඩි බිය හේතුවෙන් පීඩාවට පත් ව්‍යාපාරිකයන් කිසිවකුත් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කර නොමැති බවද වාර්තා වේ.




පසුගිය 25 වැනිදා අලුයම 5.20 ට පමණ ඩුබායි සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරන ගුවන් යානයෙන් විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මොහුව කටුනායක ගුවන් තොටුපොළ වෙත කැඳවාගෙන එන ලදී. මෙම ජාවාරම්කරු කොළඹ පිහිටි වටිනා ඉඩම් අලෙවි කරන සහ මිලදී ගන්නා පුද්ගලයන්ට දුරකථනයෙන් තර්ජනය කරමින් කප්පම් මුදල් එකතු කර ඇති අතර, ඇතැම් රජයේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමටද සිය ගෝලබාලයන් යොදවා තිබේ. තවද මොහු සිදුකළ මනුෂ්‍ය ඝාතන සඳහා භාවිත කළ ටී-56 ගිනි අවි පහක් පිළිබඳ තොරතුරු හෙළි වී ඇති අතර ඒවා සොයා විශේෂ විමර්ශන ක්‍රියාත්මක වේ.

බස් ලලිත් නමැත්තාට එරෙහිව බරපතල අපරාධ රැසක චෝදනා එල්ල වී ඇති අතර, හන්වැල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීම සහ පාතාල නායක මංජු හෙවත් මන්නා රොෂාන් ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීම ඒ අතර වේ. මීට අමතරව හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරුන් වන චින්තක කුඩලිගම සහ ශාන්ත මුදුන්කොටුව හෙවත් ‘ධනා’ ඝාතනය කිරීම මෙන්ම 2025 වසරේදී කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී දෙමටගොඩ රුවන්ට හා ඔහුගේ ගෝලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන්ද මොහුට චෝදනා නැඟී ඇත.




මෙම සැකකරු මෙරටට රැගෙන ඒම පිළිබඳව ප්‍රසාදය පළ කරමින් හන්වැල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාව රතිඤ්ඤා පත්තු කර සතුට පළ කර තිබේ. දැනට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කෙරෙන මොහු සම්බන්ධයෙන්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ අධ්‍යක්ෂ කමල් ආරියවංශ යන නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරේ.