ශ්‍රී ලංකා පොලීසිය යනුවෙන් සඳහන් නිල් පැහැති ටී ෂර්ට් එකක් පැළඳ පොලිස් නිලධාරිනියක ලෙස පෙනී සිටිමින් දළදා පෙරහැර නැරඹූ 25 හැවිරිදි තරුණියක් මහනුවර මූලස්ථාන පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන මෙම තරුණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ පසුගිය 26 වනදා රාත්‍රියේදීය.
අත්අඩංගුවට පත් සැකකාර තරුණිය සතුව තිබූ බෑගය පරීක්ෂා කිරීමේදී ශ්‍රී ලංකා පොලීසිය ලෙස සඳහන් නිල් පැහැති කබායක් සහ පොලිස් නිල ලාංඡන කිහිපයක් මහනුවර මූලස්ථාන පොලීසියේ නිලධාරීන් විසින් සොයාගෙන ඇත. එමෙන්ම ඇගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ලබාගත් ඡායාරූප රැසක්ද හමු වී තිබේ.
විමර්ශනවලදී අනාවරණය වී ඇති පරිදි මෙම තරුණිය තරුණයකු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, තමන් පොලීසියේ සේවය කරන බව පවසමින් ඔහු රවටා ඇත. එම රවටාලීම තහවුරු කිරීම සඳහා පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම්වලින් සැරසී ජංගම දුරකථනයෙන් ඡායාරූප ගෙන පෙම්වතාට පෙන්වා ඇති බව පැවසෙයි.
පෙරහැර නැරඹීම සඳහා රාජ වීදිය ප්‍රදේශයේ රැඳී සිටි මෙම තරුණිය පිළිබඳව පොලිස් විශේෂ කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරීන්ට සැකයක් මතු වී ඇති අතර, ඒ බව විශේෂ රාජකාරි සඳහා පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට දැනුම් දී ඇත. පසුව කාන්තා පොලිස් නිලධාරිනියන් විසින් මෙම තරුණියගෙන් ප්‍රශ්න කිරීමේදීද ඇය තමන් පොලිස් නිලධාරිනියක් බව පැවසුවද, පසුව සිදුකළ තහවුරු කරගැනීම්වලදී ඇය පොලීසියේ සේවය නොකරන බව හෙළිවීම නිසා වෙනත් අයෙකු ලෙස පෙනී සිටීමේ චෝදනාව මත මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම තරුණිය පෞද්ගලික පිරිසිදු කිරීමේ ආයතනයක (ක්ලීන් සර්විස්) සේවිකාවක ලෙස කටයුතු කරන අතර, පෙර කාල සීමාවලදී පොලිස් ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටි තැනැත්තියක් බවද තොරතුරු අනාවරණය වී ඇත.
මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක, මහනුවර සහ මාතලේ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ සහ මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාර හක්මන යන මහත්වරුන්ගේ මෙහෙයවීම යටතේ මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනු ලබයි.
