අද දිනයේ සිට එළඹෙන සැප්තැම්බර් 05 වැනිදා දක්වා කාලය තුළ ‘ඔරිගිඩ්ස්’ උල්කාපාත වර්ෂාව සක්‍රිය මට්ටමින් පැවැත්වෙන බව නවීන තාක්ෂණය පිළිබඳ ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා අංශය පවසයි.
මෙම උල්කාපාත වර්ෂාවේ උපරිම සක්‍රියතාව අගෝස්තු 31 වැනිදා රාත්‍රිය සහ සැප්තැම්බර් 01 වැනිදා අලුයම අතර කාලසීමාව තුළ සිදුවනු ඇතැයි ගණන් බලා ඇත.මෙය සුළු උල්කාපාත වර්ෂාවක් ලෙස හඳුන්වා දෙන ආතර් සී. ක්ලාක් ආයතනයේ තාරකා විද්‍යා පර්යේෂක චරිත් ධනංජය මාරසිංහ මහතා, අගෝස්තු 31 වැනිදා පස්වරු 7.00 සිට පසුදා අලුයම 3.00 - 4.00 දක්වා කාලයේදී ඊසාන දිශාව දෙසින් මෙය නැරඹිය හැකි බව සඳහන් කළේය. කෙසේ වෙතත්, අහසේ පවතින ආලෝක තත්ත්වය සහ කාලගුණික වෙනස්කම් මත විවිධ ප්‍රදේශවලට මෙය දර්ශනය වන ආකාරය වෙනස් විය හැකිය.
සාමාන්‍යයෙන් පැයකට පෙනෙන උල්කාපාත සංඛ්‍යාව 100 සිට 150 දක්වා ඉහළ අගයක් ගන්නේ නම් එය ප්‍රධාන උල්කාපාත වර්ෂාවක් ලෙස සැලකෙන නමුත්, ඔරිගිඩ්ස් උල්කාපාත වර්ෂාවේදී පැයකට දැකගත හැක්කේ උල්කාපාත 10ත් 15ත් අතර ප්‍රමාණයක් බවද ඒ මහතා පෙන්වා දෙයි.
මෙම උල්කාපාත වර්ෂාව සාපේක්ෂව දුර්වල එකක් වුවද, පෘථිවිය වඩාත් ඝනකම් දූවිලි ස්තර හරහා ගමන් කරන අවස්ථාවලදී කෙටි කාලීන උල්කාපාත පිපිරීම් ඇති වේ. ප්‍රථම වරට 1935 වසරේදී හඳුනාගනු ලැබූ මෙම උල්කාපාත වර්ෂාව තුළ 1935, 1986, 1994, 2007 සහ 2019 යන වසරවලදී එවැනි කැපී පෙනෙන පිපිරීම් වාර්තා වී ඇති අතර, එම අවස්ථාවලදී කෙටි කාලයක් තුළ පැයකට උල්කාපාත 30 සිට 130 දක්වා ප්‍රමාණයක් නිරීක්ෂණය වී තිබේ.
