the-two-teachers-who-molested-the-student-are-in-hiding

මැදිරිගිරිය ප්‍රදේශයෙන් වාර්තා වන පරිදි, පොලොන්නරුව අධ්‍යාපන කලාපයේ පිහිටි දුෂ්කර පාසලක ඉගෙනුම ලබන 15 හැවිරිදි ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් එම පාසලේ ක්‍රීඩා භාර ගුරුවරයා සහ තවත් ගුරුවරයෙකු අත්අඩංගුවට ගැනීමට පොලොන්නරුව මූලස්ථාන පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.




සැකකාර ගුරුවරුන් දෙදෙනා අදාළ දැරියගේ ජංගම දුරකථනයට අසභ්‍ය ඡායාරූප යොමු කිරීමෙන් අනතුරුව මෙලෙස ඇයව අතවරයට ලක් කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. සිද්ධියට මුහුණ දුන් ශිෂ්‍යාව අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා පොලොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇත.

මේ දිනවල පවතින පාසල් නිවාඩුව හේතුවෙන් අදාළ ගුරුවරුන් දෙදෙනා ප්‍රදේශයෙන් බැහැරව වෙනත් ප්‍රදේශවලට ගොස් ඇති අතර, මෙතෙක් ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වී නොමැත. පොලොන්නරුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පී. පී. කේ. පතිරණ මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.