akilas-bail-request-is-rejected-remand-till-18

ජනාධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත කළ සේවකයන් පෞද්ගලික කටයුතු සඳහා යොදාගනිමින් රුපියල් විසිහත් ලක්ෂයකට අධික රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට එල්ල වූ චෝදනාවලට අදාළව එක්සත් ජාතික පක්ෂයේ උප සභාපති මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වන නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා ලබන අගෝස්තු මස 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (05) නියෝග කළේය.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද පෙරවරුවේ ප්‍රකාශයක් සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, දෙපාර්ශ්වයේ නීතිඥවරුන් දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් විය.




හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ විමධ්‍යගත පරිපාලන පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා ලෙස 2022 වසරේදී කටයුතු කළ සමයේදී සිය කාර්ය මණ්ඩලය සඳහා යැයි පවසමින් බඳවාගත් සේවකයන් සිව්දෙනෙකු සම්බන්ධයෙන් මෙම දූෂණ චෝදනාව එල්ල වී තිබේ. එහිදී බඳවාගත් සේවකයන් තිදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි සඳහා වාර්තා නොකර කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි සැකකරුට අයත් පෞද්ගලික ඉන්ධන පිරවුම්හලේ සේවයේ යෙදවීම සහ අනෙක් සේවකයා වෙන් කර තිබූ කාර්යාලයේ කිසිදු රාජකාරියක නොයොදවා රජයේ වැටුප් හා දීමනා ගෙවීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා නැගී ඇත. මෙලෙස රජයේ මුදලින් වැටුප් හා දීමනා ගෙවීම හරහා රුපියල් 2,768,836.14ක (රුපියල් ලක්ෂ 27කට අධික) මුදලක් රජයට පාඩු කරමින් දූෂණය නමැති වරද සිදුකිරීම ඔහුට එරෙහිව ඇති ප්‍රධාන චෝදනාවයි.

අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, අදාළ අමාත්‍යාංශ සහ තාවකාලික සේවකයන් ජනාධිපති ලේකම් කාර්යාලයේ රාජකාරි සඳහා වාර්තා නොකර කුලියාපිටිය ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ පෞද්ගලික ඉන්ධන හලේ රාජකාරි සඳහා යොදවා ඇති බවයි. එමෙන්ම ප්‍රධාන සාක්ෂිකරුවෙකු මුලින් ලබාදුන් ප්‍රකාශයට පටහැනිව පසුව දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබීම පිටුපස යම් බලපෑමක් සිදුව ඇති බවට සැකකෙරෙන අතර, ඉදිරිපත් කළ ඇතැම් ලේඛන ද ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බවට විශ්වාස කරන බැවින් සැකකරුට ඇප ලබාදුනහොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බව කොමිසම පෙන්වා දුන්නේය.




එම කරුණුවලට පිළිතුරු දෙමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණී අල්විස් මහතා සඳහන් කළේ, අදාළ සේවකයන් කටයුතු කළේ කුලියාපිටිය ඉන්ධන හල පිහිටි ගොඩනැගිල්ලේ ඉහළ මහලේ පවත්වාගෙන ගිය සම්බන්ධීකරණ කාර්යාලයේ බවත් ඔවුන් ඉන්ධන හලේ රාජකාරි නොකළ බවත්ය. එම සේවකයන්ගේ පැමිණීමේ ලේඛන ද අල්ලස් කොමිසම වෙත භාරදී ඇති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබාදෙන ලෙස නීතිඥවරයා ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු දීර්ඝ ලෙස සලකා බලමින් ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා පෙන්වා දුන්නේ සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුවී ඇති බවට සහ ලේඛන විකෘති කර ඇති බවට කොමිසම ඉදිරිපත් කළ කරුණු පදනම් කරගනිමින් ඇප පනත අනුව සැකකරුට ඇප ප්‍රදානය කිරීමට හැකියාවක් නොමැති බවයි. ඒ අනුව සැකකරු ලබන අගෝස්තු 18 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, විත්තිය ඉදිරිපත් කළ පැමිණීමේ ලේඛන පිළිබඳව ද පරීක්ෂණ පවත්වා මීළඟ නඩු වාරයේදී වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.



මේ අතර, නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්ති කූඩුවේ සිටි අකිල විරාජ් කාරියවසම් මහතා සිය නීතිඥවරුන් සමඟ සංවාදයක නිරත වීම කෙරෙහි මහේස්ත්‍රාත්වරයාගේ දැඩි අවධානය යොමු විය. අධිකරණ කටයුතුවලට බාධා වන මෙවැනි ක්‍රියාවලට තම අධිකරණය තුළ කිසිසේත් ඉඩ නොතබන බවට අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා, ඒ පිළිබඳව සිය තදබල විරෝධය පළ කරමින් සැකකරුට දැඩි ලෙස අවවාද කළේය.