i-get-slapped-for-being-the-tallest-tree---rajeev-amarasuriya

විපක්ෂ නායකවරයා සමඟ රහසිගත එකඟතාවකට පැමිණ ඇති බවට චෝදනා කරමින් තමන් ඉලක්ක කරගනිමින් පසුගිය සති කිහිපය පුරා ක්‍රියාත්මක වූ මඩ ප්‍රචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා අසත්‍ය එකක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති, නීතිඥ රජීව් අමරසූරිය මහතා ප්‍රකාශ කරයි. සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ, තමන් වෙත එල්ල කර ඇති සියලුම අක්‍රමිකතා චෝදනා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.

වෘත්තීය නිදහස, ස්වාධීන අදහස් දැක්වීම සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ට මෙවැනි අපහාසාත්මක ප්‍රහාර එල්ල වීම නොවැළැක්විය හැකි සාමාන්‍ය තත්ත්වයක් බව ද හෙතෙම පෙන්වා දෙයි.




ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2024 පෙබරවාරි 29 වන දින වෘත්තීය අතපසුවීම් සම්බන්ධයෙන් වරදකරු කරමින් නීතිඥ ධුරයෙන් ඉවත් කරන ලද නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ 'විනිවිද පදනම' මගින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඉදිරිපත් කළ පැමිණිල්ලකට සිය නම ඈඳීම සම්බන්ධයෙන් ද සභාපතිවරයා මෙහිදී කරුණු පැහැදිලි කර ඇත. ඒ අනුව, මෙරට බලයලත් මෝටර් රථ නිෂ්පාදන සමාගම් නියෝජිතයෙකු වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් කිහිපදෙනෙකු සමඟින් තමන් අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටියේ වෘත්තීය මට්ටමින් උපදෙස් ලත් නීතිඥවරයකු ලෙස පමණක් බවත්, අදාළ නඩුවලට නීතිඥවරයකු ලෙස පෙනී සිටි නාගානන්ද කොඩිතුවක්කු මහතාට නීතිඥ ධුරය අහෝසි වීමෙන් පසු එම නඩු කටයුතුවලට සහභාගී වීමට නොහැකි වූ බවත් ඔහු සඳහන් කරයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන පනතේ (දූෂණ විරෝධී පනතේ) 119 වන වගන්තිය අනුව අල්ලස් කොමිසමට දැන දැනම අසත්‍ය පැමිණිලි ඉදිරිපත් කිරීම දණ්ඩනීය වරදක් බව මතක් කරදෙන රජීව් අමරසූරිය මහතා, මෙවැනි අසත්‍ය චෝදනා නගන පුද්ගලයන්ට එරෙහිව අපරාධමය නීතිමය පියවර ගැනීමේ හැකියාව මෙන්ම අසත්‍ය චෝදනාවලට ලක්වූ පාර්ශ්වයට වන්දි ලබාගැනීමට ද නීත්‍යානුකූල ප්‍රතිපාදන පවතින බව පෙන්වා දෙයි. ඒ අනුව තමන්ට එල්ල වන පදනම් විරහිත චෝදනා හමුවේ සිය වෘත්තීය වගකීම් සහ ආයතනික ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටීම කිසිසේත් අත්නොහරින බව පවසන සභාපතිවරයා, "උසට වැවෙන ගසට වැඩිපුර සුළං වදී" යන පැරණි කියමන මතක් කරමින් මෙම සියලු අභූත චෝදනාවලට සත්‍යය විසින් ඉදිරියේදී පිළිතුරු සපයනු ඇති බව වැඩිදුරටත් කියා සිටියි.