50000-fine-for-the-girl-who-danced-with-a-python-on-her-shoulder-in-the-miss-year-competition

පසුගිය අප්‍රේල් මාසයේදී කොළඹ 07 ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ උත්සව ශාලාවක පවත්වන ලද අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගාවලියකදී වන හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත සත්ත්වයකු ලෙස නම් කර ඇති පිඹුරකු කරේ දමාගෙන නර්තනයේ යෙදුණු දහඅට හැවිරිදි තරුණියකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් පනස් දහසක දඩයක් නියම කර තිබේ. එමෙන්ම අදාළ නර්තනය ඉදිරිපත් කිරීම සඳහා රුපියල් 25,000ක මුදලකට මෙම පිඹුරා ඇයට අලෙවි කළ 44 හැවිරිදි පුද්ගලයාට රුපියල් ලක්ෂ දහයක දඩයක් නියම කර ඇත.




මෙලෙස අධිකරණය හමුවේ දඩ නියම වී ඇත්තේ නෙත්මි හිරන්යා (18) සහ අනුරාධපුර තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි ලක්ෂ්මන් රත්නසිරි (44) නැමැති දෙදෙනාටයි. වන හා වෘක්ෂලතා ආඥා පනතේ වගන්ති ප්‍රකාරව ආරක්ෂිත උරගයකු වන පිඹුරකු සන්තකයේ තබාගනිමින් නර්තනයේ යෙදීම යන චෝදනාව මත තරුණියට එරෙහිව චෝදනා ගොනු කර තිබූ අතර, එම ආරක්ෂිත පිඹුරා ළඟ තබාගෙන පාලනය කිරීම සහ රුපියල් 25,000කට විකිණීම යන චෝදනා යටතේ අදාළ පුද්ගලයාට එරෙහිව අධිකරණයේ චෝදනා ගොනුකර තිබිණි.

අධිකරණය හමුවේ පෙනී සිටිමින් මෙම නඩුව මෙහෙයවූ කොළඹ දිසා වන සත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී එම්. පී. සංජීව මහතා 'ලංකාදීපය' කළ විමසීමකදී පවසා සිටියේ නඩු විභාගයේදී චූදිතයන් දෙදෙනාම තමන් කළ වරද පිළිගත් බවයි. එහිදී 18 හැවිරිදි තරුණිය ඒ මොහොතේම තමාට නියම වූ රුපියල් පනස් දහසක දඩ මුදල ගෙවා දමා ඇති අතර, රුපියල් ලක්ෂ දහයක දඩ මුදල එදිනම ගෙවා ගැනීමට නොහැකි වූ අනෙක් පුද්ගලයා රිමාන්ඩ් භාරයට පත් කෙරිණි. පසුව ඔහු දින දෙකකට පසුව අදාළ දඩ මුදල ගෙවා දැමූ බව ද වනජීවී නිලධාරීවරයා සඳහන් කළේය.




ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා විසින් සංවිධානය කරන ලද මෙම අවුරුදු කුමරා සහ කුමරිය තේරීමේ තරගයේදී තරුණිය විසින් භාවිත කරන ලද මෙම පිඹුරා මීට පෙර විල්පත්තුව ජාතික වනෝද්‍යානය වෙත මුදා හැරීමට පියවර ගෙන තිබිණි.