two-officers-of-the-norwood-divisional-secretariat-were-arrested-for-depositing-rs

ආර්ථික අපහසුතාවලින් පෙළෙන පවුල් වෙත පිරිනැමෙන 'අස්වැසුම' සුබසාධන ප්‍රතිලාභ මුදල් අවභාවිත කරමින් රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගිණුම් අංශයේ සේවය කළ නිලධාරිනියන් දෙදෙනෙකු හැටන් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. හැටන් කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා සඳහන් කළේ, වයස අවුරුදු 30 සහ 33 යන වයස්වල පසුවන මෙම සැකකාරියන් දෙදෙනා සැබෑ ප්‍රතිලාභීන්ට හිමිවිය යුතු දීමනා තමන්ගේ ඥාතීන්ගේ සහ හිතවතුන්ගේ බැංකු ගිණුම්වලට බැර කරමින් 2024 වසරේ සිට මෙම මහා පරිමාණ වංචාව සිදුකර ඇති බවයි.




මෙම අස්වැසුම දීමනා අක්‍රමිකතාව සම්බන්ධයෙන් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අඛණ්ඩව පැමිණිලි ලැබී තිබූ අතර, තමන්ට හිමි විය යුතු දීමනා නොලැබුණු බවට ප්‍රතිලාභීන් විසින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් තුෂාරි තෙන්නකෝන් මහත්මිය වෙත නිර්නාමික ලිපියක් ද යොමු කර තිබුණි. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ දිස්ත්‍රික් ලේකම්වරියගේ උපදෙස් මත අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කෙරිණි. එම පරීක්ෂණ කටයුතුවලට බාධාවක් නොවන පරිදි සැකකාර නිලධාරිනියන් දෙදෙනාගෙන් එක් අයෙකු අඹගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත්, අනෙක් නිලධාරිනිය තලවකැලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවීමට පියවර ගැනුණි.

අනතුරුව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ විගණන අංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ විගණන අංශයේ නිලධාරීන්ගෙන් සමන්විත දස දෙනෙකුගෙන් යුත් විශේෂ විගණන කණ්ඩායමක් මගින් පරීක්ෂණයක් සිදු කර ඇත. එහිදී සිදුකළ මූලික විගණනයේදී අනාවරණය වී ඇත්තේ 2023, 2024 සහ 2025 යන වසරවලට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් සැකකාරියන්ගේ ඥාතීන් සහ හිතවතුන්ගේ ගිණුම් වෙත අක්‍රමික ලෙස බැර කර ඇති බවයි. එම විගණන අනාවරණයන් පදනම් කරගනිමින් නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් සමීර ගම්ලත් මහතා විසින් හැටන් පොලිස් කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකය වෙත නිල වශයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.




ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ ආරම්භ කළ හැටන් කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව පෙරේදා දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලදී. එහිදී අධිකරණය නියෝග කළේ සැකකාරියන් දෙදෙනා සති දෙකක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි. මෙම මුදල් වංචා සිද්ධියට තවත් කිහිපදෙනෙකු සම්බන්ධ වී ඇත්දැයි යන්න පිළිබඳව පොලීසිය මගින් ඉදිරි විමර්ශන පවත්වනු ලබයි.