හිටපු අමාත්‍යවරුන් භාවිත කළ නිල නිවාස සහ බංගලා කඩිනමින් රටේ ආර්ථිකයට ඵලදායී වන පරිදි යොදා ගැනීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් ලබා දී තිබේ. ජනාධිපති කාර්යාලයේදී පැවැති විශේෂ සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වෙනුවෙන් 2026 වසරේ වෙන් කරන ලද අයවැය ප්‍රතිපාදනවල ප්‍රගතිය සමාලෝචනය කිරීම මෙන්ම 2027 වර්ෂය සඳහා වන අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම මෙම හමුවේ ප්‍රධාන අරමුණ විය.මෙම සාකච්ඡාවේදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ පළාත් පාලන යන අංශ යටතේ 2026 අයවැයෙන් වෙන් කරන ලද රුපියල් මිලියන 60,430.04ක ප්‍රාග්ධන වියදම් සහ රුපියල් මිලියන 706,226.83ක පුනරාවර්තන වියදම් මත පදනම් වූ ව්‍යාපෘතිවල වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් දීර්ඝ ලෙස විමසුමට ලක් කෙරිණි. එහිදී ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ප්‍රාදේශීය මට්ටමින් සමාජීය හා ආර්ථික සංවර්ධනය වේගවත් කිරීම සඳහා පවතින ප්‍රාදේශීය පරිපාලන ව්‍යුහයන් සංවර්ධන ඒකක බවට පරිවර්තනය කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.
දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන වත්මන් පරිපාලන රාමුව මගින් මහජන ගැටලුවලට සාර්ථක විසඳුම් ලැබී නොමැති බව අවධාරණය කළ ජනාධිපතිවරයා, සුළු සංශෝධනවලින් ඔබ්බට යමින් සමස්ත පද්ධතියේම පරිවර්තනයක් ජනතාව අපේක්ෂා කරන බව ප්‍රකාශ කළේය. මෙම වෙනස එකවර සිදු කිරීම අභියෝගාත්මක වුවද, රාජ්‍ය පරිපාලන ක්ෂේත්‍රය තුළ ඒ පිළිබඳ විධිමත් සංවාදයක් ආරම්භ කිරීමේ වැදගත්කම එතුමා පෙන්වා දුන්නේය. මීට අමතරව, රාජ්‍ය ආයතන ඩිජිටල්කරණය කිරීමේ පියවරක් ලෙස දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් තාක්ෂණය ඔස්සේ ලබා දිය හැකි සේවාවන් පිළිබඳ ඉදිරි මාස කිහිපය තුළ අධ්‍යයනය කර වාර්තාවක් ලබා දෙන ලෙසද නිලධාරීන්ට දැනුම් දෙන ලදී.
ගොඩනැගිලි ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රගතිය විමසා බැලීමේදී අම්පාර, මඩකලපුව, කෑගල්ල සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණවල මෙන්ම කළුතර, පිටබැද්දර, අගුණකොළපැලැස්ස, රත්මලාන, කෝට්ටේ සහ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඉදිකිරීම් පිළිබඳව අවධානය යොමු විය. දිවයින පුරා භාවිතයට නොගත් හෝ අඩු උපයෝජිත ගොඩනැගිලි සහ ඉදිකිරීම් 2000කට අධික සංඛ්‍යාවක් පවතින බව මුදල් අමාත්‍යාංශ නිලධාරීන් අනාවරණය කළ අතර, දැනට පවතින සියලු ඉදිකිරීම්වල අවශ්‍යතාව අධ්‍යයනය කර අත්‍යවශ්‍ය ව්‍යාපෘති සඳහා පමණක් ප්‍රමුඛතාව ලබා දෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන්නේය.
පළාත් සභා හා පළාත් පාලන අංශය හරහා රජයේ සහ විදේශ ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර, 2015 වසරේ සිට ක්‍රියාත්මක වන මහ කොළඹ අපජල කළමනාකරණ ව්‍යාපෘතිය සහ කොළඹ නගර සභා බලප්‍රදේශයේ ජලාපවහන පද්ධතිය විධිමත් කිරීම සම්බන්ධයෙන් අදාළ ආයතන ඒකාබද්ධව සැලැස්මක් සකස් කළ යුතු බවට තීරණය විය. තවද, 1927 වසරේ පිහිටුවන ලද ණය සංවර්ධන අරමුදල මෙන්ම ග්‍රාමීය කුඩා පාලම් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතියද සමාලෝචනය කෙරිණි. 2026-2029 කාල සීමාව සඳහා ග්‍රාමීය පාලම් වෙනුවෙන් රුපියල් මිලියන 6793ක් වෙන් කිරීමට නියමිත අතර, 2026 වසරේ වෙන් කළ රුපියල් මිලියන 1050ක ප්‍රතිපාදනවලින් සියයට 29ක ප්‍රගතියක් දැනට ලබාගෙන ඇත. දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් මෙම ව්‍යාපෘති වඩාත් කාර්යක්ෂම කිරීමට උපදෙස් ලබා දුන්නේය.
විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ කටයුතු කෙරෙහිද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, දැනට පුද්ගලයින් 7,50,000ක් පමණ විශ්‍රාම වැටුප් ලාභීන් ලෙස ලියාපදිංචි වී ඇති බව අනාවරණය විය. පළාත් පාලන ආයතන මුහුණ දෙන යන්ත්‍ර සූත්‍ර හිඟය, ආදායම් උත්පාදනය, පොදු පහසුකම් සැලසීම සහ නවක නිලධාරීන් පුහුණු කිරීම ඇතුළු ගැටලු රැසක් සම්බන්ධයෙන්ද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබය රත්න, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් යන මහත්වරුන් සහභාගී වූහ. තවද ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.