bail-laws-for-drug-crimes-will-be-amended-and-the-death-penalty-will-be-imposed

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේදී, මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම කෙරෙහි සලකා බලමින් මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම උදෙසා කෙටිකාලීන හා දීර්ඝකාලීන පියවර රැසක් පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. රටේ සමස්ත ආර්ථිකයට, සංචාරක කර්මාන්තයට මෙන්ම සමාජීය හා ආචාරධර්මීය පද්ධතියටම බරපතළ තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම සහ ඊට අනුබද්ධ අපරාධ මර්දනය කිරීම සඳහා තදබල නීතිරීති පැනවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.




මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අනාගත පරපුර විනාශ කරමින් මුළු සමාජයම වෙළාගෙන ඇති මෙම ජාතික ව්‍යසනයෙන් රට මුදාගැනීමට නම් ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයක් මෙන්ම කඩිනම් මතවාදී පරිවර්තනයක් අවශ්‍ය වන බවයි. එමෙන්ම, මෙම කාර්ය සාර්ථක කරගැනීම සඳහා ආගමික නායකයන්, දෙමාපියන් සහ ප්‍රජා සංවිධානවල සක්‍රීය සහභාගීත්වය රජය අපේක්ෂා කරන බවත්, ආයතනික පද්ධතිය තුළ සිදු කළ යුතු ක්ෂණික වෙනස්කම් කෙරෙහිද අවධානය යොමු විය යුතු බවත් එතුමා සඳහන් කළේය.

මත්ද්‍රව්‍ය පාලනය හා ඇප ලබාදීමේ ක්‍රියාවලියට අදාළ නීති සංශෝධන දැනටමත් අවසන් අදියරේ පවතින අතර, ඒවා කඩිනමින් ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. අධිකරණ කටයුතු ප්‍රමාද වීමට ප්‍රධාන හේතුවක් වූ රස පරීක්ෂක වාර්තා ලබාදීමේ ක්‍රියාවලිය වේගවත් කර ඇති අතර, ඉකුත් ජූලි මාසය තුළ පමණක් වාර්තා 6,414 ක් නිකුත් කර තිබේ. බන්ධනාගාරගතව සිටින පිරිස්වල නෛතික කටයුතු ඉක්මන් කිරීම සඳහා අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ප්‍රමාණය පදනම් කරගනිමින් දත්ත වර්ගීකරණය කරන ලෙසත්, රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, පොලීසිය සහ බන්ධනාගාරය අතර මනා සම්බන්ධීකරණයකින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේය.




රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පහසුකම් ප්‍රවර්ධනයට නාවික හමුදාවේ සහය ලබාගැනීමටත්, ආරක්ෂිත කැමරා පද්ධති සවිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කිරීමටත් පියවර ගෙන තිබේ. තවද, 2007 අංක 54 දරන පුනරුත්ථාපන පනත් සංශෝධන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වේගවත් කරන ලෙසත්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ පවතින ප්‍රමාදයන් මඟහරවා ගැනීම පිණිස විශ්‍රාමික පළපුරුදු නිලධාරීන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමටත් උපදෙස් හිමි විය.

පාසල් පද්ධතිය තුළ මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය වැළැක්වීමට අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ එක්ව ක්‍රියාත්මක කරන 'මිතුරු පාසල' වැඩසටහන යටතේ ගුරුවරුන්, විදුහල්පතිවරුන් සහ උපදේශකවරුන් පුහුණු කිරීමත්, සිසුන්ගේ පෞරුෂ සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමත් සිදුවේ. විශේෂයෙන්ම ජනගහන ඝනත්වය සහ අවදානම වැඩි ප්‍රදේශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් අතර, ජාත්‍යන්තර පාසල් තුළ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාමේ ප්‍රවණතාව ගැනද සාකච්ඡා විය. මීට අමතරව, දෙමාපියන්ට තමන්ගේ දරුවන් පිළිබඳ පෞද්ගලිකව පරීක්ෂා කරගත හැකි මත්ද්‍රව්‍ය පරීක්ෂණ කට්ටල ඖෂධසල් මගින් ලබාගැනීමේ හැකියාව පවතින බවත්, අන්තර්ජාලය හා සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන මත්ද්‍රව්‍ය ප්‍රවර්ධනය වැළැක්වීමට මෙන්ම මත්ද්‍රව්‍ය විරෝධී මතවාදය සමාජගත කිරීමට සමාජ මාධ්‍ය යොදාගැනීමටත් මෙහිදී අවධානය යොමු විය.



මෙම මත්ද්‍රව්‍ය මර්දන හා වළක්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා සෞඛ්‍ය, ජනමාධ්‍ය, අධ්‍යාපන, මහජන ආරක්ෂක ඇතුළු අමාත්‍යාංශ ගණනාවක්ද, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය, පුනරුත්ථාපන කාර්යාංශය, බන්ධනාගාර හා පරිවාස දෙපාර්තමේන්තු, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, ප්‍රජාශක්ති වැඩසටහන ඇතුළු ආයතන රැසක් එක්ව කටයුතු කරයි. එහිදී මුල් අවධියේම හඳුනාගැනීම, පුනරුත්ථාපනය, නීති සංශෝධන, නැවත ඇබ්බැහි වීම වැළැක්වීම, සැලසුම් නියාමනය සහ වාර්තා කිරීම යන සංශෝධිත ක්‍රමෝපායන් හය යටතේ ක්‍රියාත්මක බහුආංශික ජාතික උපායමාර්ගික සැලැස්මේ ප්‍රගතියද පරීක්ෂාවට ලක් කෙරිණි.

මෙම ජාතික මෙහෙයුම් සභා රැස්වීම සඳහා අස්ගිරි පාර්ශ්වයේ අනුනායක නාරම්පනාවේ ආනන්ද හිමි, රාමඤ්ඤ මහා නිකායේ අනුනායක වලේබොඩ ගුණසිරි හිමි, කුප්පියාවත්තේ බෝධාන්නද හිමි, ජූඩ් බර්නාඩ් පියතුමා, ශ්‍රී වේලු සුරේෂ් ෂර්මා කුරුක්කල්තුමා, මුත්තුසාමී අලගේසන් කුරුක්කල්තුමා, ෂෙයික් මොහොමඩ් අර්කම් නූරාමිත් මවුලවිතුමා ඇතුළු ආගමික නායකයන් හා පූජකප්‍රසාදීන් වහන්සේලාද සහභාගී වූහ. එමෙන්ම මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන්, රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ ජ්‍යෙෂ්ඨ ප්‍රධානීහු පිරිසක්ද මේ සඳහා එක්ව සිටියහ.