hathurusingha-will-have-to-pay-compensation-of-6-crores-to-sri-lanka-cricket

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ සේවය හදිසියේ අවසන් කිරීමට එරෙහිව පැනනැඟුණු නීතිමය ආරවුල සමථයකට පත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. ඒ අනුව, ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කාර අධිකරණයේ ගොනු කර තිබූ පැමිණිල්ල කොන්දේසි සහිතව ඉල්ලා අස්කර ගැනීමට එකඟ වීම පදනම් කරගනිමින්, ඔහුට ඇමරිකානු ඩොලර් 164,000ක (මෙරට මුදලින් රුපියල් කෝටි හයකට ආසන්න) වන්දි මුදලක් ගෙවීමට ක්‍රිකට් පාලක මණ්ඩලය එකඟතාව පළ කර ඇත.




බංග්ලාදේශ ජාතික කණ්ඩායම සාර්ථක ලෙස මෙහෙයවමින් සිටි හතුරුසිංහ මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආරාධනය මත වසර තුනක කොන්ත්‍රාත් කාලයක් සඳහා 2017 දෙසැම්බර් 20 වැනිදා ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයට පත් විය. කෙසේ වෙතත්, 2019 වන විට කණ්ඩායමේ තරගකාරී පසුබෑම සහ එල්ල වූ විනය චෝදනා කිහිපයක් හේතුවෙන් ඔහුට ධූරයෙන් ඉවත් වන ලෙසට බලපෑම් එල්ල විය. ගිවිසුම්ගත මුළු කාලයට හිමි ගෙවීම් ලබා දෙන ලෙස හතුරුසිංහ මහතා පැවසූ නමුත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය චෝදනා පත්‍රයක්ද ගොනු කරමින් ඔහුගේ සේවය ඒකපාර්ශ්විකව අවසන් කිරීමට පියවර ගත්තේය.

මෙම තීරණය නිසා සිය කීර්තිනාමයට බරපතළ හානියක් සිදු වූ බවත්, හිමි විය යුතු ආදායම අහිමි වූ බවත් පවසමින් ඔහු ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා බේරුම්කාර අධිකරණය හමුවේ නීතිමය ක්‍රියාමාර්ග ගත්තේය. ජාත්‍යන්තර අවධානයට ලක්වූ මෙම අර්බුදය පිළිබඳව පාර්ලිමේන්තු කෝප් කමිටුවේදීද සාකච්ඡා වූ අතර, නීතිමය කටයුතු සඳහා වැය වන අධික පිරිවැය වළක්වා ගැනීම වෙනුවෙන් මෙය එකඟතාවයකින් විසඳා ගන්නා ලෙස කෝප් කමිටුව නිර්දේශ කළේය. මේ අතර, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ප්‍රධානත්වයෙන් සිදු කළ ඒකපුද්ගල විමර්ශනයකදීද හතුරුසිංහ මහතා මෙම සිදුවීමට අදාළ චෝදනා කිහිපයකට වැරදිකරු බවට නිගමනය කර තිබුණි.




ආරම්භයේදී ඇමරිකානු ඩොලර් මිලියන පහක වන්දි මුදලක් ඉල්ලා සිටි හතුරුසිංහ මහතා, පසුව එය ඩොලර් 450,000 දක්වා අඩු කිරීමට කටයුතු කළේය. අවසානයේ ස්විට්සර්ලන්තයේදී පැවැති සාකච්ඡාවලදී ඩොලර් ලක්ෂ දෙකක සීමාවේ පැවැති ඉල්ලීමෙන් මෙම වන්දි මුදල ගෙවා නීතිමය කටයුතු අවසන් කිරීමට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ කාලසීමාව තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 21කින් හයක් ජයගෙන 11ක් පරාජය වූ අතර, එක්දින තරග 44කින් ජයග්‍රහණය කළේ තරග 10ක් පමණි (තරග 29ක් පරාජය විය). එසේම ඔහු යටතේ ශ්‍රී ලංකාව විස්සයි-20 තරග 12කින් හතරක් ජයගෙන තරග අටක් පරාජයට පත් විය.

කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වැනි රටවලද පුහුණුකරුවකු ලෙස සේවය කර ඇති 57 හැවිරිදි හතුරුසිංහ මහතා, ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත් වීමෙන් පසු 2023 වසරේදී නැවතත් බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු භාර ගත්තේය. දැනට ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටින ඔහු, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 26කට සහ එක්දින තරග 35කට ක්‍රීඩකයකු ලෙසද නියෝජනය කර තිබේ.