a-special-discussion-by-the-human-rights-commission-to-control-prison-conflicts

දිවයින පුරා පිහිටි බන්ධනාගාර තුළ නිතර ඇති වන ගැටුම්කාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පියවර ගෙන තිබේ. ඒ අනුව, බන්ධනාගාර ප්‍රධානීන් සහ පොලිස්පතිවරයා ඇතුළු වගකිව යුතු ක්ෂේත්‍රවල උසස් නිලධාරීන් එළඹෙන අගෝස්තු 18 වැනිදා එම කොමිෂන් සභාව හමුවට කැඳවා ඇත.

මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්, නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා විසින් මෙම විශේෂ තීරණය පිළිබඳව නිල වශයෙන් අනාවරණය කර ඇත.




මෙම විශේෂ හමුව සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සම්බන්ධ කර ගැනීමට නියමිතය. බන්ධනාගාර පද්ධතිය තුළ නැවත ගැටුම් ඇති වීම වැළැක්වීම අරමුණු කරගනිමින්, කෙටි කාලීන, මධ්‍ය කාලීන හා දිගු කාලීන පියවරයන් කෙරෙහි මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත අතර, අදාළ සියලු ආයතන එක්ව පොදු එකඟතාවයකට පැමිණීම මෙම සාකච්ඡාවේ ප්‍රධාන අපේක්ෂාව වේ.

බන්ධනාගාරවල උද්ගතව ඇති පවතින අර්බුදකාරී තත්ත්වයන්ට සාර්ථක විසඳුම් ලබා දීම උදෙසා යම් යම් නීතිමය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවක් ද පවතින බව නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා පෙන්වා දෙයි. විශේෂයෙන්ම, බන්ධනාගාරවල පවතින අධික තදබදය බොහෝ ගැටලුවලට ප්‍රධාන හේතුව වී ඇති අතර, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් එකම ස්ථානයක එකට රඳවා තැබීම නිසා මෙම ගැටුම් තවදුරටත් උග්‍ර වන බව ද හෙතෙම සඳහන් කළේය.




මේ වන විටත් මීගමුව බන්ධනාගාරය ඇතුළු දිවයිනේ සසු බන්ධනාගාරවල සිදුවූ ගැටුම්කාරී සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් පුළුල් විමර්ශන පවත්වමින් සිටියි. දත්තයන්ට අනුව, ශ්‍රී ලංකාවේ පවතින බන්ධනාගාර 33 තුළ මේ වන විට රැඳවියන් සහ සිරකරුවන් 41,000කට අධික පිරිසක් රඳවා සිටිති. කෙසේ වෙතත්, මුළු බන්ධනාගාර පද්ධතියටම දරාගත හැකි උපරිම අනුමත ධාරිතාව 11,000ක් පමණක් වන බැවින්, බන්ධනාගාර තුළ මෙලෙස දැඩි අර්බුදකාරී තදබදයක් නිර්මාණය වී ඇත.