brings-new-environmental-laws-to-those-who-make-noise

දිවයින පුරා ශබ්ද දූෂණය අවම කිරීම උදෙසා ජාතික පරිසර පනත පදනම් කරගනිමින් නව නීති රෙගුලාසි පද්ධතියක් හඳුන්වා දීමට මධ්‍යම පරිසර අධිකාරිය සූදානම් වන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා සඳහන් කරයි. මෙම රෙගුලාසි සම්මත වීමත් සමඟ පරිසරයට අධික ශබ්ද මුදාහැරීම දණ්ඩනීය වරදක් ලෙස සැලකෙන අතර, අධිකරණ වරෙන්තුවක් රහිතව සැකකරුවන් ක්ෂණිකව අත්අඩංගුවට ගැනීමට පොලිසියට මෙන්ම පරිසර නිලධාරීන්ට ද සම්පූර්ණ නීතිමය බලතල හිමිවනු ඇත.




මහාමාර්ගවල ධාවනය වන වාහනවල අධික ශබ්ද නගන නළා, නීති විරෝධී ලෙස සකස් කළ සයිලන්සර් සහ මගීන්ට පීඩාකාරී වන අන්දමින් බස් රථ තුළ වාදනය කෙරෙන සංගීතය පාලනය කිරීම කෙරෙහි මෙම නව නීති යටතේ විශේෂ අවධානයක් යොමු කෙරේ. තවද, නිසි අවසරයකින් තොරව සංවිධානය කරන එළිමහන් සංගීත ප්‍රසංග, සාද, මෙන්ම මහජනතාවට බාධා වන පරිදි අධික ඝෝෂාවක් සහිතව පවත්වාගෙන යන කර්මාන්තශාලා සහ ඉදිකිරීම් භූමි කෙරෙහි ද නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත්, සාමාන්‍ය ජනජීවිතයට අත්‍යවශ්‍ය විනෝදාත්මක අවස්ථා මෙන්ම සංස්කෘතික හා ආගමික කටයුතුවලට බාධාවක් නොවන අයුරින් කටයුතු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය අවධානය යොමු කර තිබේ. ඒ අනුව, ආගමික සහ සංස්කෘතික උත්සව සඳහා අවශ්‍ය ලිහිල් කිරීම් සහ නම්‍යශීලීභාවයක් ලබා දීම පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් සලකා බලනු ඇත.




අධික ශබ්දය හේතුවෙන් රෝගීන්, වැඩිහිටියන් මෙන්ම පාසල් දරුවන් මුහුණ දෙන මානසික හා ශාරීරික පීඩාවන් සම්බන්ධයෙන් මහජන පැමිණිලි විශාල සංඛ්‍යාවක් ලැබී තිබේ. මෙම රෙගුලාසිවල මූලික සංකල්ප පිළිබඳව ඉදිරියේදී මහජන අදහස් විමසීමට නියමිත අතර, ඉන් අනතුරුව අදාළ ක්ෂේත්‍ර සහ කණ්ඩායම් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර විශේෂ ගැසට් නිවේදනයක් මගින් අදාළ රෙගුලාසි ප්‍රකාශයට පත් කිරීමට පියවර ගැනෙනු ඇත.