මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාපතනය හමුවේ බලන්තොට කහවතුර ඔය පිටාර ගලා අවට කුඹුරු යායවල් සහ මාර්ගය ජලයෙන් යටවී තිබියදී, අනතුරට ලක්වීමට ගිය නාවලපිටිය ඩිපෝවට අයත් බස් රථයක සිටි මගීන් පනස් දෙදෙනෙකුගේ ජීවිත නිරුපද්‍රිතව බේරාගැනීමේ පුවතක් වාර්තා වේ. නාවලපිටියෙන් ගිනිගැත්හේන බලා ගමන් ආරම්භ කළ NA 4742 දරන මෙම දොර දෙකේ බස් රථය රඹුක්පිටිය පසුකර බලන්තොට බස් නැවතුම්පොළෙන් ඉදිරියට ධාවනය වන විටත් සියලු ආසන පිරී මගීන් සිටගෙනද ගමන් කරමින් සිටියහ.
මාර්ගය නොපෙනෙන තරමට ජලය එකතු වෙමින් පැවැති බැවින් රියැදුරු නොනවත්වා බස් රථය ඉදිරියට ධාවනය කළද ඔහුට යා හැකි වූයේ කෙටි දුරක් පමණි. ඒ සමඟම එකවරම නැඟුණු චණ්ඩ ජල කඳට හසුවූ බස් රථය තල්ලු වී ගොස් බෝක්කු ගාඩ් කණුවක සිරවී නතර විය.නාවලපිටිය සහ අඹගමුව ප්‍රදේශය සමන් දෙවියන්ගේ අඩවියක් ලෙස පවතින ජන විශ්වාසය තහවුරු කරමින් බස් රථය එම ගාඩ් ගලේ සිර නොවූයේ නම්, මගීන් සමඟින් අඩි දහයක් පමණ පහළට වැටී ජලයේ ගිලී යාමට ඉඩ තිබුණි. බස් රථයේ රෝද වසාගනිමින් ඉහළ ආ ජල මට්ටම කෙමෙන් කෙමෙන් මගී ආසන දක්වාම පැතිර යන්නට වූ අතර, පැති බැම්මේ සිරවූ බස් රථයෙන් පිටතට ගැනීමට නොහැකි වූ මගීහු භීතියට පත්ව අසල්වැසියන්ගෙන් උපකාර ඉල්ලා කෑගසන්නට වූහ.
එම අවස්ථාවේ වෙනත් කාර්යයකට ටිපර් රථයකින් ගමන් කරමින් සිටි චමිල නමැති තරුණයාට මගීන්ගේ ළතෝනිය ඇසී, තමන් යමින් සිටි ගමන පසෙකලා වහා ක්‍රියාත්මක විය. ඔහු සිය නෑදෑ හිතවතුන් සහ මිතුරන් වන ප්‍රදීප් මධුසංක, තිළිණ දිල්ෂාන්, කසුන් දිල්ෂාන් සහ විදුර විශ්වනාත් සමඟ එක්ව සිය ජීවිත පරදුවට තබමින් ටිපර් රථය බස් රථය අසලටම රැගෙන ආවේය. බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයාගේද සහාය ඇතිව, ජනේලවලින් සහ වෙනත් ක්‍රමවලින් මගීන් ඔසවා ටිපර් රථයේ තට්ටුවට නංවා ගැනීමට ඔවුන් කටයුතු කළ අතර, ජල කඳ ඉහළ යද්දීම එම පිරිස බලන්තොට විහාරස්ථානය වෙත සුරක්ෂිතව රැගෙන යන ලදී. තවත් මිනිත්තු කිහිපයක් ප්‍රමාද වූවා නම් මිනිස් ජීවිත 52ක් සමඟ බස් රථය අඩි 12ක් පමණ ගැඹුරු ජලයට පෙරළී මඩේ සැඟවී යාමට ඉඩ තිබිණි.
මිනිස් ජීවිත බේරාගැනීමෙන් අනතුරුව, සැඩ ජල පහර මඳක් අඩු වන තෙක් පැය කිහිපයක් බලා සිට සිරවී තිබූ බස් රථය ගොඩගැනීමට කටයුතු කෙරිණි. වසර විස්සක පමණ කාලයක සිට තමන්ගේ මුදල් පවා වියදම් කරමින් විවිධ ආපදාවලදී ජීවිත බේරාගැනීමේ නිරත වන නාවලපිටිය පත්තුනුපිටිය පදිංචි ජේම්ස් ක්‍රිෂ්ටි නමැති තරුණයා, සිය ඩබල් කැබ් රථය යොදාගනිමින් සිරවී තිබූ බස් රථය ජලය නොමැති ස්ථානයකට ඇද තබා මුදාගත්තේය.
එන්ජිම තුළට ජලය ගමන් කිරීම නිසා බස් රථය පණගැන්වීමට නොහැකි තත්ත්වයක් පැවැති අතර, ඉන් අනතුරුව නාවලපිටිය ඩිපෝ අධිකාරී වයිමන් ප්‍රනාන්දු මහතා විසින් ආපදා රථයක් යොදවා බස් රථය ඇදගෙන නාවලපිටිය ඩිපෝව තුළ ගාල් කිරීමට කටයුතු කරන ලදී. හදිසියේ ගලා ආ ජල පහරින් බස් රථය කොටුවූ අවස්ථාවේදී මගීන් බේරාගැනීමට ක්‍රියා කළ රියැදුරු සහ කොන්දොස්තරවරයාටත්, සිය ජීවිත පරදුවට තබා මගීන් සහ බස් රථය බේරාගැනීමට ඉදිරිපත් වූ තරුණ පිරිසටත් ඩිපෝ අධිකාරීවරයා සිය ස්තූතිය පළ කළේය.