to-investigate-how-the-satyagraha-that-wimal-gammanpila-claimed-for-sale-was-an-insult-to-the-court

පාස්කු ප්‍රහාර මාලාවට අදාළව අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටින හිටපු ජාතික බුද්ධි ප්‍රධානී තුවාන් සුරේෂ් සලේ මහතා නිදහස් කරන ලෙස ඉල්ලා පැවැති සත්‍යග්‍රහයකදී අධිකරණ ක්‍රියාවලිය විවේචනය කිරීම සම්බන්ධයෙන් දේශපාලන ක්‍රියාකාරීන් පිරිසකට එරෙහිව අභියාචනාධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.




මෙලෙස අභියාචනාධිකරණය හමුවේ කරුණු වාර්තා කිරීමට නියම වී ඇත්තේ හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, හිටපු ජනාධිපති ලේකම් සුගීෂ්වර බණ්ඩාර සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ යන මහත්වරුන්ටය.

සුරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තීන්දුවක් දීමට අධිකරණය දින නියම කර තිබියදී කොටුව දුම්රියපොළ අසල සංවිධානය කර තිබූ මෙම සත්‍යග්‍රහයේදී අදහස් දක්වමින් අදාළ පිරිස 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනත උල්ලංඝනය කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කරමින් පෙන්වා දී ඇත.




මෙම සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලට අනුව ස්වර්ණවාහිනී, දෙරණ, සිරස සහ ස්වාධීන රූපවාහිනිය ඇතුළු විද්‍යුත් මාධ්‍ය ආයතන 10 කින් ලබාගත් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන, මාධ්‍යවේදීන්ගේ හා මාධ්‍ය කළමනාකරුවන්ගේ ප්‍රකාශ මෙන්ම දිවුරුම් ප්‍රකාශ ද සාක්ෂි ලෙස CID ය මගින් අධිකරණයට භාරදී තිබේ.

ඉදිරිපත් වූ කරුණු හා සාක්ෂි අධ්‍යයනය කළ මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ අදාළ අදහස් දැක්වීම් මගින් අධිකරණ ක්‍රියාවලිය විවේචනයට ලක්ව ඇති බව බැලූ බැල්මටම පැහැදිලි වන බවත්, අධිකරණයේ ස්වාධීනත්වයට හා නීතිමය ක්‍රියාදාමයට බලපෑම් වන පරිදි ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් ඉදිරි නෛතික පියවර ගැනීම සඳහා මෙලෙස අභියාචනාධිකරණයට කරුණු වාර්තා කිරීමට තීරණය කළ බවත්ය.