resettlement-of-ditwa-displaced-families-in-a-special-method

‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් අවතැන් වූ පවුල් නැවත පදිංචි කරවීම පිණිස ඉඩම් වෙන් කරවා ගැනීමේ විශේෂ ක්‍රමවේදයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, මෙම සුළි කුණාටුව හේතුවෙන් නිවාස පූර්ණ ලෙස විනාශ වූ සහ නායයෑම් අධි අවදානම් කලාපවල ජීවත් වූ පවුල් නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.




මෙලෙස අවතැන් වූවන් නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය වන ඉඩම් ප්‍රමාණය රජය සතු ඉඩම්වලින් පමණක් සපයා ගැනීමට නොහැකි වීම හේතුවෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව අදාළ ඉඩම් අවශ්‍යතාව සපයා ගැනීමට අදාළ පියවර කිහිපයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව, මේ වන විට දීමනා පත්‍ර පදනම මත වෙනත් පුද්ගලයන් වෙත ලබා දී ඇති ඉඩම් නැවත පදිංචි කිරීමේ කටයුතු සඳහා තෝරා ගන්නා අවස්ථාවලදී, අදාළ ඉඩමේ සංවර්ධන වටිනාකම ප්‍රාදේශීය ලේකම්වරයා හරහා දීමනා පත්‍ර හිමිකරු වෙත ලබා දීමට නියමිතය. අනතුරුව එකී ඉඩම සමාන ආදායම් මට්ටමක පසුවන වෙනත් තැනැත්තකු වෙත විධිමත්ව පැවරීමට අවසර හිමි වේ.




එමෙන්ම, නැවත පදිංචි කිරීමේ අරමුණින් පරිත්‍යාගශීලීන් විසින් රජයට පවරා දෙන පෞද්ගලික ඉඩම්, රජයේ ඉඩම් ආඥාපනතේ ප්‍රතිපාදනවලට අනුව ප්‍රථමයෙන් 'ත්‍යාග ඔප්පුවක්' මාර්ගයෙන් රජය වෙත පවරා ගැනීමට නියමිතය. ඊට පසු, 1950 අංක 9 දරන ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව අදාළ තැනැත්තන්ගෙන් වන්දි අත්හැරීමේ ප්‍රකාශයක් ලබා ගනිමින් රජයේ අයිතිය ලියාපදිංචි කර ඉදිරි පියවර ගැනීමට සැලසුම් කර ඇත.

නැවත පදිංචි වීම සඳහා සුදුසු ඉඩමක් නොමැති අයට ඉහත සඳහන් ක්‍රමවේදයන් හරහාද ඉඩම් ලබා දීමට නොහැකි වන අවස්ථාවලදී, රජයේ ඉඩමකින් හෝ රජයට පරිත්‍යාග කරන ලද ඉඩමකින් උපරිම වශයෙන් පර්චස් 10ක සීමාවකට යටත්ව ඉඩම් කොටසක් ලබා දීමට කටයුතු කෙරේ. ඉන් පසුව, 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥාපනතේ 2 වන වගන්තිය යටතේ එම ඉඩම්වල අයිතිය අදාළ පුද්ගලයන් වෙත පැවරීමට පියවර ගැනෙනු ඇත.