කැලණි ගඟෙන් ජලය ලබාගන්නා ස්ථානයේ පැවැති ජලයේ ගුණාත්මකභාවය පිළිබඳ හදිසි ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් අද (25) අලුයම සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගත්තේය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දැනුම්දීම මත අඹතලේ සහ කැලණි දකුණු ඉවුර ජල පවිත්‍රාගාරවල කටයුතු මෙලෙස කාලීනව අත්හිටවූ අතර, එමගින් පාරිභෝගික ජනතාවට තාවකාලික අපහසුතාවන්ට මුහුණ දීමට සිදු විය.
කෙසේ වෙතත්, ත්‍රිවිධ හමුදාවේ පූර්ණ සහයෝගය ඇතිව ජලයේ ගුණාත්මකභාවයට බලපෑ එම හදිසි තත්ත්වය මේ වන විට සාර්ථකව නිරාකරණය කර ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්දේශයන්ට අනුකූලව සිදුකරන ලද විශේෂ රසායනාගාර පරීක්ෂණ මගින් බෙදාහැරීමට නියමිත ජලය නියමිත ප්‍රමිතීන්ට සහ සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු කරගැනීමෙන් අනතුරුව, නැවත ජලය බෙදාහැරීමේ කටයුතු ආරම්භ කිරීමට පවිත්‍රාගාර බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම පියවරත් සමග ජල පවිත්‍රාගාර ආශ්‍රිත ප්‍රධාන ප්‍රදේශ වෙත ඉදිරි පැය කිහිපය ඇතුළත ජල සැපයුම සාමාන්‍ය පරිදි ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. එසේ වුවද, පද්ධතියේ පවතින දුරස්ථභාවය සහ පීඩන වෙනස්කම් හේතුවෙන් බත්තරමුල්ල, කෝට්ටේ, පාමංකඩ සහ නුගේගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්වීමේදී යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ජලසම්පාදන මණ්ඩලය පෙන්වා දෙයි.
මහජනතාවගේ සෞඛ්‍ය හා ආරක්ෂාව උදෙසා ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ජනතාව දක්වන අවබෝධය සහ ලබාදෙන සහයෝගය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් කාරුණිකව අගය කරනු ලබයි.
