bus-lalith-is-coming-from-dubai

මෙරට සිදුකළ මනුෂ්‍ය ඝාතන, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කප්පම් ගැනීම් ඇතුළු සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධව ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි කන්නන්ගරගේ ලලිත් කන්නන්ගර හෙවත් 'බස් ලලිත්' නමැති සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (25) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.




පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ වුට්ලර් මහතා සඳහන් කළේ කළුතර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි මෙම සැකකරු ඩුබායිහිදී අත්අඩංගුවට පත්වීමෙන් පසු මෙලෙස මෙරටට ගෙන ආ බවයි. කටුනායක ගුවන් තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු දැඩි ආරක්ෂාවක් සහිතව කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී ඇත.

'කුඩු ලලිත්' ලෙසද හඳුන්වන මොහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදනයක් පවා නිකුත් කර තිබූ අතර, බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය විසින් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේ පවතින නඩුවකට අදාළව එම නිවේදනය ලබාගෙන තිබුණි. මීට අමතරව මිනීමැරීමේ වරදට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ මහාධිකරණය මගින්ද මොහුට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ බව සඳහන් වේ.




තවද 2021 වසරේ සැප්තැම්බර් 20 වන දින නෙලුන්තුඩුව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී පුද්ගලයෙකුට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර ඝාතනය කිරීමට තැත් කිරීම සහ 2022 ඔක්තෝබර් 16 වන දින පුද්ගලයින් තිදෙනෙකු කපා බරපතළ තුවාල සිදුකිරීම යන සිදුවීම්වලට අදාළවද අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් මොහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබේ.

news-2026-08-25-031043

news-2026-08-25-031043

news-2026-08-25-031043