diploma-student-sues-colombo-university-for-not-giving-exam-marks-for-personal-revenge

කොළඹ විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය සහ කථිකාචාර්යවරුන් පිරිසක් විසින් සිදුකරන ලදැයි කියන විභාග අක්‍රමිකතා, අත්තනෝමතික ක්‍රියාකලාපයන් සහ පලිගැනීම් හේතුවෙන් තම කාලය, ශ්‍රමය මෙන්ම මුදල් නිරපරාදේ නාස්ති වූ බව පවසමින් රුපියල් ලක්ෂ 50 ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා එම විශ්වවිද්‍යාලයේ හිටපු සිසුවකු විසින් නුගේගොඩ දිසා අධිකරණයේ වන්දි නඩුවක් ගොනුකර ඇත.




නීතිඥ දනෝෂා පෙරේරා මහත්මිය මාර්ගයෙන් මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ සනත් කුමාර අතුකෝරළ නමැති සිසුවා විසිනි. කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක, හිටපු උපකුලපති එච්.ඩී. කරුණාරත්න, කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපති එෆ්.ඩී.එම්. නිහාල් සහබන්දු, අංශ ප්‍රධානී සෂිතා අබේධීර මනෝරත්න, කථිකාචාර්යවරුන් වන ඩී.සී.එල්. දියගුආරච්චි සහ ඩබ්ලිව්. පී. ප්‍රේමරත්න, විභාග අංශයේ අතිරේක ලේඛකාධිකාරී වජිරා හපුගින්න ජයරත්න යන මහත්ම මහත්මීන් සහ නීතිපතිවරයා මෙම නඩුවේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.

පෙත්සම්කරු කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨය මගින් මෙහෙයවන ලද 2022/2023 ව්‍යවසායකත්ව කුඩා ව්‍යාපාර කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ඇත. එහි පළමු ඇගයීමේදී කිසිදු ගැටලුවක් උද්ගත නොවූවත්, දෙවැනි ඇගයීමට අදාළ 'කුඩා ව්‍යාපාර සඳහා මෙහෙයුම් කළමනාකරණය' (508) සහ 'ව්‍යාපාර උපායමාර්ග හා තිරසාරභාවය' (510) යන විෂයයන්හිදී තමන්ට දැඩි අසාධාරණයක් සිදු වූ බව හෙතෙම සඳහන් කරයි.




508 විෂය භාර කථිකාචාර්යවරිය වෙනත් සිසුවකු මාර්ගයෙන් මුදල් හදිසියක් බව පවසමින් රුපියල් 80,000 ක මුදලක් ඇගේ ගිණුමට බැර කරන ලෙස කළ ඉල්ලීම තමන් ප්‍රතික්ෂේප කළ බව පෙත්සම්කාර සිසුවා පවසයි. පසුව 2024 මැයි මාසයේදී කිරිඇල්ල ප්‍රදේශයේ පැවැති වැඩමුළුවකදී, විශ්වවිද්‍යාලයට සම්බන්ධයක් නැති එකී කථිකාචාර්යවරියගේ සැමියාට තමන්ගේ කාමරයේ නවාතැන් දීමට කළ ඉල්ලීමට ද තමන් විරුද්ධ වීම නිසා ඇය තමා සමඟ වෛරයක් ඇති කරගත් බව නඩුවෙන් පෙන්වා දී ඇත.

මෙම අමනාපය මුල් කරගනිමින් අදාළ කථිකාචාර්යවරිය නියමිත ලකුණු දීමේ ක්‍රමවේදයෙන් බැහැරව අත්තනෝමතික හා පළිගැනීමේ චේතනාවෙන් තමන්ට අඩු ලකුණු ලබා දී විභාගය අසමත් කළ බවට චෝදනා කෙරේ. එමෙන්ම විභාගයට පෙර ප්‍රශ්න පත්‍රයේ කරුණු වෙනත් සිසු කණ්ඩායමකට හෙළිදරව් කිරීමේ සිදුවීමක් පිළිබඳව ද පෙත්සමෙහි සඳහන් වේ. තවද, 510 විෂයයේ සමූහ ව්‍යාපෘතියක් සඳහා එක් සිසුවකුගෙන් රුපියල් 35,000 බැගින් එකතු කළ අතර, ව්‍යාපෘතියට සක්‍රීයව සම්බන්ධ නොවූ ඇතැම් සිසුන්ට ද කථිකාචාර්යවරයා සම්පූර්ණ ලකුණු ලබා දී ඇති බවට අතුකෝරළ මහතා වැඩිදුරටත් චෝදනා කරයි.



2025 ජනවාරි මාසයේදී තමන් විභාගය අසමත් වූ බවට ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු ඒ පිළිබඳව විශ්වවිද්‍යාල පාලනාධිකාරියට පැමිණිලි කළ බවත්, ඉන්පසු කිසිදු නැවත විභාගයක් නොපවත්වාම 2025 අප්‍රේල් මාසයේදී තමන් ඇතුළු සිසුන් කිහිපදෙනකු සමත් වූ බවට නව ප්‍රතිඵල ලේඛනයක් නිකුත් කළ බවත් පෙත්සම්කරු සඳහන් කරයි. මුලින් අසමත් කළ සිසුන් විභාගයකින් තොරව පසු කාලයකදී සමත් කළේ කෙසේද යන්න පිළිබඳව පාලනාධිකාරිය මෙතෙක් සාධාරණ හේතුවක් දක්වා නොමැති අතර, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ද සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

අභ්‍යන්තර විමර්ශන අවසන් කර නොමැති පසුබිමක සහ ඉදිරිපත් වූ විරෝධතා නොතකා විශ්වවිද්‍යාල බලධාරීන් විසින් උපාධි ප්‍රදානෝත්සවයක් පවත්වා අදාළ සිසුන්ට ඩිප්ලෝමා ප්‍රදානය කිරීමට කටයුතු කර ඇත. මෙම අනීතික, වංචනික හා අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් පාඨමාලාවෙන් බලාපොරොත්තු වූ සාමාර්ථය අහිමි වී මිතුරන් අතර අපහසුතාවට පත් වූ බව පවසන සනත් කුමාර අතුකෝරළ මහතා, තමාට සිදු වූ අලාභය වෙනුවෙන් වගඋත්තරකරුවන්ගෙන් රුපියල් ලක්ෂ 50 ක වන්දියක් අයකර දෙන ලෙස නුගේගොඩ දිසා අධිකරණයෙන් ඉල්ලා සිටියි.