රජය සතු ඌන උපයෝජිත ඉඩම් තෝරා ගනු ලබන ආයෝජකයින් සහ ව්‍යාවසායකයින් වෙත දිගුකාලීන බදු පදනම මත ලබා දීමේ වැඩසටහන සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විදේශ රැකියාවල නිරත වෙමින් මෙරටට විදේශ විනිමය ප්‍රේෂණය කළ හෝ දැනටත් ප්‍රේෂණය කරනු ලබන තරුණ ව්‍යාවසායකයින්ට වැවිලි ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට අවස්ථාව සැලසෙන පරිදි යෝග්‍ය වැඩසටහනක් සකස් කිරීම සඳහා 2026-01-12 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුලින්ම අනුමැතිය හිමිව තිබිණි.
ඒ අනුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය විසින් අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වා අදාළ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදය පිළියෙල කර ඇත. මෙම ක්‍රමවේදයට අනුව, ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව සතු හෙක්ටයාර 117 ක්, ජනතා වතු සංවර්ධන මණ්ඩලය සතු හෙක්ටයාර 88 ක් සහ සීමාසහිත ඇල්කඩුව වැවිලි සමාගම සතු හෙක්ටයාර 42 ක් වශයෙන් හඳුනාගත් සමස්ත ඌන උපයෝජිත ඉඩම් හෙක්ටයාර 247 ක් වෙන් කර තිබේ.
තෝරා ගනු ලබන සුදුසු ආයෝජකයින් වෙත අදාළ ඉඩම් කොටස් දිගුකාලීන බදු පදනම මත බැහැර කිරීමට අදාළව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. මෙම ව්‍යාපෘතිය යටතේ ආයෝජකයෙකුගේ උපරිම වයස අවුරුදු 50 ක් ලෙස සලකනු ලබන අතර, වැවිලි හා කෘෂිකාර්මික කටයුතු, වැවිලි ආශ්‍රිත සංචාරක ප්‍රවර්ධනය, පශු සම්පත් සංවර්ධනය, ජල විදුලිබල සහ සූර්ය බලශක්ති උත්පාදනය, කර්මාන්තශාලා ආශ්‍රිත නිෂ්පාදන, මිරිදිය මත්ස්‍ය කර්මාන්තය සහ වෙනත් වැවිලි ආශ්‍රිත ආර්ථික නවෝත්පාදන ක්ෂේත්‍ර සඳහා ආයෝජන අවස්ථා හිමිවේ.
විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ඔස්සේ තෝරා ගනු ලබන එක් ආයෝජකයෙකුට හිමි වන ඌන උපයෝජිත ඉඩම් ප්‍රමාණය උපරිම වශයෙන් හෙක්ටයාර 1 සිට 4 දක්වා වේ. තවද, පසුගිය වසර 10 ක කාලය තුළ වසර 03 ක් හෝ ඊට වැඩි කාලයක් විදේශගත රැකියාවක නියුතු වූ පුද්ගලයන්ට මෙන්ම දැනටත් විදේශ ශ්‍රමිකයෙකු ලෙස වසර 03 කට වැඩි කාලයක් සේවය කරමින් සිටින පුද්ගලයන්ට මෙම වැඩසටහන යටතේ ප්‍රමුඛතාව ලබා දෙනු ඇත.
