නිසි ප්‍රමිතියට නොමැති වීම හේතුවෙන් 'ස්විස්කොක්ස් 200' වෙළෙඳ නාමයෙන් හඳුන්වන සෙලොකොක්සිබ් මිලිග්‍රෑම් 200 වේදනා නාශක ඖෂධයේ කාණ්ඩ තුනක් වහාම ක්‍රියාත්මක වන පරිදි භාවිතයෙන් ඉවත් කිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය පියවර ගෙන තිබේ.
වෛද්‍ය සැපයුම් අංශය නිකුත් කළ චක්‍රලේඛයට අනුව මෙලෙස ඉවත් කර ඇත්තේ 476CSX004, 476CSX005 සහ 476CSX002 යන කාණ්ඩ අංක දරන ඖෂධ වේ. ජාතික ඖෂධ ගුණාත්මක සහතික කිරීමේ රසායනාගාරයේ වාර්තා පදනම් කර ගනිමින් 'ආරක්ෂාව සහ අවදානම් ඇගයීම් අනුකාරක සභාව' පසුගිය 17 වැනිදා ගත් තීරණයකට අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් මෙම උපදෙස් නිකුත් කර ඇත.
මෙලෙස භාවිතයෙන් ඉවත් කිරීමට උපදෙස් දී ඇති 'ස්විස්කොක්ස් 200' ඖෂධ කාණ්ඩ තුන වෛද්‍ය සැපයුම් අංශය මගින් සැපයූ ඒවා නොවන බව සඳහන් වේ. මෙම තීරණය පිළිබඳව සියලුම පළාත් හා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්, ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය ආයතන ප්‍රධානීන් වහාම දැනුවත් කර ඇති අතර, සෞඛ්‍ය ලේකම්වරයාගේ 01/2021 උපදෙස් මාලාවට අනුකූලව කටයුතු කරන ලෙස උපදෙස් දී තිබේ.
